ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආරක්ෂාවක් (State Guest Level) ලබා දීමට පාකිස්තාන රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා එරට යුධ හමුදාව සහ පැරාමිලිටරි රේන්ජර්වරුන්ගේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන බව මාධ්‍ය වාර්තා පළ කර තිබේ.
කෙසේ වෙතත් එය නිරූපණය කරමින් ඇතැම් ජාතික පුවත්පත් මගින් අද දින පළකර තිබෙන ඡායාරූපය 2019 වසරේ පකිස්ථාන සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් ආරක්ෂක රැකවරණය සම්බන්ධ ඡායාරූපයකි.
මෙම ඡායාරූපය ට්විටර් (Twitter) ජාලයේ පළ කර තිබූ අතර එය 800 වාරයකට වඩා නැවත හුවමාරු (Retweet) වී තිබුණකි. AFP Fact Check මගින් වැරදි නිරූපණයක් ලෙස තහවුරු කරන ලද්දකි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලයට නුදුරින් පිහිටි ඉස්ලාමාබාද් අධිකරණ සංකීර්ණයක් අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව, ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් ආරක්ෂක පියවර ගෙන තිබුනේ ශ්‍රී ලංකා ජනපතිවරයාද මැදිහත්වී කළ සාකච්චා වලින් පසුවයි.
මෙම ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් විස්සයි-20 සහ එක්දින සියලුම තරග රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති අතර, දෙරට අතර දෙවන එක්දින තරගය අද (14) පස්වරු 3.00ට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත්, ඇතිවූ ආරක්ෂක ගැටලුකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු නැවත දිවයිනට පැමිණීමේ අභිලාෂය පළ කිරීමත් සමඟ දෙරටේ ක්‍රිකට් බලධාරීන් අතර මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් ආරම්භ විය.
මෙම අර්බුදකාරී අවස්ථාවේදී මැදිහත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය යන මහත්වරුන් සමඟ සෘජුවම අදහස් හුවමාරු කර ගනිමින් තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු කළේය. 1996 ලෝක කුසලාන තරගාවලිය සමයේ මෙරට පැවති බෝම්බ බිය හේතුවෙන් වෙනත් රටවල් පැමිණීම ප්‍රතික්ෂේප කරද්දී පාකිස්තානය ලබා දුන් සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා, ඊට කෘතගුණ සැලකීමක් ලෙස තරගාවලිය නිමවන තෙක් එහි රැඳී සිටින ලෙස කණ්ඩායමට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ද පාකිස්තාන ආරක්ෂක ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර කණ්ඩායමේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් (විශ්‍රාමික) ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී මොහ්සින් නක්වි යන මහත්වරුන් ඇතුළු පිරිසක් අතර ඉස්ලාමාබාද්හිදී පැවති විශේෂ සාකච්ඡාවකදී ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කෙරිණි. එහිදී දැනට යොදවා ඇති ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශවය සෑහීමකට පත්ව ඇති අතර, මොහ්සින් නක්වි මහතා පෞද්ගලිකවම ක්‍රීඩාංගණයට ගොස් ක්‍රීඩකයින් හමුවී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දී තිබේ. මෙම සංචාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා ශ්‍රී ලංකා රජයට සහ ක්‍රිකට් ආයතනයට සිය ප්‍රණාමය ද පුද කර ඇත.
තරග කාලසටහනේ සංශෝධන සිදු කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරග අද (14) සහ 16 යන දිනවල රාවල්පින්ඩි හිදී පැවැත්වෙන බවයි. ඉන් අනතුරුව පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සමඟ සිම්බාබ්වේ කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 තරගාවලිය, ලබන 18 වනදා ආරම්භ වී මස 29 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ පකිස්ථානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2019 ලබා දුන් ආරක්ෂාවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval