the-number-of-missing-persons-in-alawathugoda-is-estimated-to-be-43

 අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේඇල, මුදුනේකඩේ ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයෑමක් හේතුවෙන් පවුල් 15කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු පමණ අතුරුදහන්ව තිබේ. මෙම ව්‍යසනයත් සමඟ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (29) සවස් වන විට සුන්බුන් අතර තිබී මළ සිරුරු අටක් සොයා ගැනීමට සමත් වී ඇත.



මධ්‍යම කඳුකරයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඊයේ අලුයම් කාලයේදී මෙම අති විශාල පස් කන්ද කඩා වැටී ඇති අතර, කන්ද පාමුල පිහිටි නිවාස රැසක් එම පස් කන්දට යට වී විනාශයට පත්ව තිබේ.

මෙම ඛේදවාචකය වාර්තා වීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අලවතුගොඩ පොලීසිය එක්ව සහන කටයුතු ආරම්භ කර ඇත.


විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් පස් කන්දට යටවූවන් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණු අතර, අයහපත් කාලගුණ තත්ත්වය සහ රාත්‍රිය එළඹීම හේතුවෙන් ඊයේ සවස් භාගයේදී එම කටයුතු නතර කිරීමට සිදු විය. කෙසේ වෙතත්, අද උදෑසන සිට අතුරුදහන් වූවන් සොයා එම මෙහෙයුම් නැවත ආරම්භ කර තිබේ.

මෙම ප්‍රදේශය නායයෑමේ දැඩි අවදානමක් සහිත කලාපයක් ලෙස හඳුනාගෙන තිබූ බවත්, වරින් වර ජනතාවට ඉවත් වන ලෙස නිවේදන නිකුත් කර තිබූ බවත් රාජ්‍ය නිලධාරීහු පවසති. මෙම අනතුරෙන් එකම පවුලේ සාමාජිකයින් 15 දෙනෙකු පමණ අතුරුදහන්ව ඇති බවත්, තමන් පදිංචි නිවසේ පැවති අවදානම හේතුවෙන් ඥාති නිවසකට පැමිණ සිටි පිරිසක් ද මෙම නායයෑමට හසුව ඇති බවත් ප්‍රදේශවාසීහු සංවේගයෙන් යුතුව ප්‍රකාශ කරති.

ආපදාවට ලක්වූ ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා ද එක්ව සිටි අතර, ඉතා අනපේක්ෂිත අයුරින් සිදුවූ මෙම විපත හේතුවෙන් පුද්ගලයින් 43 දෙනෙකු පස් කඳු යට සිරවී ඇති බව හෙතෙම සඳහන් කළේය. ඔවුන් සොයා මේ වන විටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සිද්ධිය සිදුවූ ස්ථානයේ සිට ලබාගත් වීඩියෝ දර්ශන මෙතැනින් click here



gossiplanka image 1