වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා පවතින ආපදා තත්වය
ගැන අද (30) සවස නිකුත් කළ නිවේදනය මෙසේය
"දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ සහ ගංගාවන් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ හැකිය. පළමුවෙන්ම කැලණි ගඟ පිළිබඳව අවධානය යොමු කළහොත්, කොළඹ ප්‍රදේශයේදී මේ වනවිට අධික ජල මට්ටම යම් තාක් දුරකට ඉක්මවා ගොස් තිබෙනවා.
ඉදිරියේදීත් ගංවතුර මට්ටම වැඩි වෙන්නේ නැත. කොළඹ ආසන්න ප්‍රදේශවල ගංවතුර මට්ටම මේ විදිහට අද දිනයේ සහ හෙට දිනය තුළ පවතිනු ඇත. ඊළඟට අත්තනගලු ඔය ගත්විට, අත්තනගලු ඔය නිසා ප්‍රධාන වශයෙන්ම ගම්පහ නගරය බලපෑමට ලක්වෙලා තිබෙනවා. ගම්පහ නගරයේ ගංවතුර මට්ටම අද දිනයේත් මේ ආකාරයටම පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. හෙට උදෑසන හෝ දහවල් කාලයේ සිට ගංවතුර මට්ටම අඩුවනු ඇතැයි පුරෝකථනය කළ හැකිය.
ඒ අනුව හෙට සවස් වනවිට ගම්පහ නගරයේ පහත්බිම් හැරුණු කොට බොහෝ ස්ථානවල ගංවතුර මට්ටම පහව යනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඊළඟට ආසන්නයේම ඇති කොච්චිකඩේ මුහුදට වැටෙන මහ ඔය කියන ගංගාව නිසා දැඩි බලපෑමක් ඇතිව තිබෙන ගිරිඋල්ල නගරයේ ගංවතුර මට්ටම මේ වන විට පහවෙමින් පවතී.
ඉදිරියට ගිරිඋල්ල නගරය හෙට උදෑසන වගේ වෙනකොට ගංවතුර මට්ටම පහවෙලා යනු ඇත. නමුත් ගිරිඋල්ලෙන් පහළ ඇති බඩල්ගම සහ කටාන වගේ ප්‍රදේශවලට සුළු බලපෑමක් ඇති විය හැක. නමුත් ඒක දැඩි බලපෑමක් නෙමෙයි. ජනජීවිතය දැනට තියෙන තත්වයට වඩා දරුණු විදිහට බලපෑමකට ලක් වෙන්නේ නැත.
ඊළඟට කළු ගඟ ගත්විට, කළු ගඟේ ගංවතුර මට්ටම කළුතර ප්‍රදේශයේදී යම් වැඩි වීමකට ලක්වෙනවා. වර්ෂාපතනය අඩුවීමත් සමඟ රත්නපුර නගරයේ ගංවතුර මට්ටම බැස ගොස් සාමාන්‍ය තත්වයට පත්විය හැකි බව පුරෝකථනය කළ හැකිය.
ඊළඟට දැදුරුඔය ගත්විට, අපේ දැදුරුඔය ජලාශය මේ වන විට වාන් දමමින් පවතී. තත්පරයට ඝන අඩි ලක්ෂයක් පමණ වන එම ප්‍රමාණය පාලනය කර, හෙට උදෑසන වගේ වෙනකොට ඒ වාන් දමන ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කරනවා. එතකොට හලාවත මහ රෝහල ඇතුළු ප්‍රදේශ යටවෙලා තියෙනවා. ඒ ප්‍රදේශවල හෙට උදෑසන වන විට ගංවතුර මට්ටම බැස ගොස් යථා තත්වයට පත්වීම ආරම්භ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඊළඟට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන වැව් වාන් දමන නිසා මල්වතු ඔය ආශ්‍රිතව අනුරාධපුර නගරයේ ගංවතුර තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒක හෙට දවස තුළත් ඒ ප්‍රමාණයෙන්ම පවතින්නට ගොඩක් දුරට ඉඩ තියෙනවා. හෙට සවස් කාලය වන විට ඒ ගංවතුර මට්ටම පහවෙලා යන්න ආරම්භ වෙයි. එතකොට අනිද්දා වගේ දවස් වෙනකොට ගංවතුර මට්ටම බැස යාවි.
ඊළඟට තියෙන්නෙ අපේ ප්‍රධාන ජලාශයක් වන රාජාංගනය ජලාශයයි. රාජාංගණය ජලාශයෙන් තත්පරයට ඝන අඩි ලක්ෂයක වගේ ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරියා. දැන් වෙනකොට තත්පරයට ඝන අඩි 60,000 ක වගේ ප්‍රමාණයක් තමා මුදා හරින්නේ. ඒ හේතුවෙන් එළුවන්කුලම ප්‍රදේශය සහ කලාඔය, නොච්චියාගම ප්‍රදේශය යට වෙලා තිබුණා. ඒක දැන් යම් මට්ටමකට සමනය වෙමින් පවතිනවා. හෙට සවස් කාලය වන විට ඒ ගංවතුර තත්වයන් බැස යාවි. බැස යනවා කියන්නේ වියළි කාලගුණයට පත්වෙනවා කියන කාරණය නෙමෙයි, නමුත් අනතුරක් සිද්ධ නොවී ජන ජීවිතය හැඩගස්වා ගන්න හැකියාවක් ලැබෙයි.
අපේ ජලාශ ගත්තහම අනතුරකට පත් වෙච්ච ජලාශ නැහැ. සියලුම ජලාශවල අපි පසුගිය දිනවල තිබිච්ච අධික වර්ෂාපතනයත් එක්ක වාන්දොරටු උපරිම වශයෙන් සහ ඒ අවශ්‍ය ප්‍රමාණයට ඇරලා ජලාශවල ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ. ජලාශවල කිසිම අනතුරුදායක බවක් නෑ.
අවසාන වශයෙන් මහවැලි ගඟ ආශ්‍රිතව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වය තාමත් ඒ ආකාරයෙන්ම පවතිනවා සහ හෙට දවසත් මේ ආකාරයෙන්ම ගංවතුර තත්වය පවතිනවා. දැන් උපරිම ගංවතුර තත්වයක් තියෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තමයි. ඒක හෙට දවසෙත් ඒ විදිහටම පවතීවි. හෙටින් පස්සේ තමයි ඒ ගංවතුර තත්වය සමනය වෙන්න පටන් ගන්නේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ගඟ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වය මේ වෙනකොට අඩු වෙලා ගිහින් තියෙනවා. නමුත් යම් ගංවතුර මට්ටමක් පවතිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන මින්නේරිය, කවුඩුල්ල වගේ ජලාශ සියල්ලම වාන් දමනවා තවමත්. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයට ජලය ගන්නා මින්නේරිය, කන්තලේ, කවුඩුල්ල කියන වැව්වලට ජලය ගන්නා ඇලහැර ප්‍රධාන අමුණ ළඟින් මීටර් 200 ක වගේ ප්‍රමාණයක් සෝදාගෙන ගිහින් තියෙනවා. ඒවා ඉදිරියේදී අළුත්වැඩියා කරන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරනවා.
ගංවතුර තත්වය ගැන කියන්න තියෙන්නෙ එච්චරයි. කිසිම අනතුරුදායක බවක් නෑ. දැනට උපරිම ගංවතුර මට්ටමක් තියෙන්නෙ මහවැලි ගඟ ආශ්‍රිතව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේයි. අනෙකුත් කිසිම දිස්ත්‍රික්කයක දැන් තියෙන මට්ටමට වඩා හෝ ඊයේ තිබුණාට වඩා ගංවතුර මට්ටම වැඩි වීමකට පත් වෙන්නේ නෑ කියන කාරණය සඳහන් කරන්න පුළුවන්, මේ තියෙන කාලගුණ තත්වයත් එක්ක."

Comments
Post a Comment
Your comment will be visible after approval