ජල විද්‍යා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර මහතා
නොවැම්බර් තිස්වැනිදා වන අද වනවිට ඇති වී තිබෙන ගංවතුර තත්වයන් පිළිබඳ වාර්තාවක් හා විශේෂයෙන් කැලණි ගඟේ ගංවතුර තත්වය පිළිබඳව මූලිකවම දැනුවත් කිරීමක් සිදු කර තිබේ.
ඔහුගේ ප්‍රකාශය පහතින්
"මේ වනවිට හංවැල්ල ප්‍රදේශයේ ජල මට්ටම මීටර් 10.8 (දශම අට) දක්වා උපරිම මට්ටමකට පැමිණ තිබෙනවා. අපගේ නිරීක්ෂණ අනුව මීටර් 10.8 යන අගය හංවැල්ල ජල මට්ටමේ උපරිම අගය වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා.
ඒ වගේම නාගලගම් වීදියේ ජල මට්ටම ආසන්න වශයෙන් අඩි 7 දක්වා ඉහළ පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් අපිට පෙනෙන්නට තිබෙන්නේ, කැලණි ගඟේ ජලය ඉහළ සිට පහළට ගලා යද්දී, හංවැල්ල ජල මට්ටම උපරිම මට්ටමට පැමිණීමත් සමඟම, ඒ අතරමැද ප්‍රදේශවල තවදුරටත් ජල මට්ටම ඉහළ යෑමේ අවස්ථාවක් සිදුවිය හැකි බවයි. ඒ නිසා විශේෂයෙන්ම හංවැල්ල සිට පහළ ප්‍රදේශවල දැනට ජලය පැතිරී පවතින ප්‍රදේශවලටත්, ඒ වගේම ඒ ආසන්නයේ තිබෙන පහත් බිම්වලටත් තවදුරටත් ජලය ඇතුල් වීමෙන් ගංවතුර තත්වය දිගටම පැවතීමට ඉඩ තිබෙනවා. එම ප්‍රදේශවල සිටින ජනතාවට තවදුරටත් අඩි කිහිපයකින් ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් ඇති බව දන්වා සිටින්නට කැමතියි. මේ තත්වය නිසා කැලණි ගඟ ආසන්නයේ, විශේෂයෙන්ම කොළඹ ආසන්න ප්‍රදේශවලත්, ඒ වගේම කැලණිය සහ බියගම ආදී ප්‍රදේශවලත් මේ වනවිට බොහෝ ස්ථාන වලට ජලය ඇතුල් වී ඇති බවයි අපට වාර්තා වෙන්නේ. මේ නිසා එම ප්‍රදේශවල සිටින ජනතාවගෙන් තවදුරටත් සැළකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා. මක්නිසාද යත්, කැලණි ගඟ ආසන්නයේ මේ වන විට පවතින ජල මට්ටම් තවදුරටත් ඉහළ යාමට ඉඩකඩ පවතින බැවිනි.
ඒ වගේම අත්තනගලු ඔයේ ජල මට්ටම් පිළිබඳව සලකා බැලීමේදී, දූනමලේ පිහිටි අපගේ ජල මාපකවල ජල මට්ටම තවමත් 'මහ ගංවතුර' මට්ටමක පවතිනවා. එබැවින් ඊට පහළ ප්‍රදේශ වන ගම්පහ, ජා-ඇල, වත්තල සහ කඳාන වැනි ප්‍රදේශවල තවදුරටත් ජල මට්ටම ඉහළ යාමට ඉඩ ඇති බැවින්, එම ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ පහත් බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.
මීට අමතරව මහා ඔය ජලාශයේ බඩල්ගම ජල මට්ටම තවමත් 'අති මහ ගංවතුර' තත්වයකයි පවතින්නේ. මේ තත්වය නිසා ඉන් පහළ මීගමුව දක්වා ඇති ප්‍රදේශවල සහ පහත් බිම්වලට ජලය ඇතුල් වීමෙන් ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය වීමට පුළුවන් වගේම, ජල මට්ටම ඉහළ යෑමට ද ඉඩකඩ තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රවේශම් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
එමෙන්ම මහවැලි ගඟේ ඉහළ සිට පැමිණි ජලය මේ වන විට පහත් බිම්වල විසිරී පවතිනවා. මනම්පිටිය ප්‍රදේශයේ ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් අඩුවී පැවතුනත්, ඉන් පහළ ත්‍රිකුණාමලය දක්වා යන ප්‍රදේශවල, විශේෂයෙන්ම මාවිල්ආරු ඇතුළු එම ප්‍රදේශවල, කින්නියා සහ මුතූර් වැනි ප්‍රදේශවලට මේ වන විට ජලය ඇතුල් වී ව්‍යාප්ත වෙමින් පවතිනවා.
ඒ නිසා එම ප්‍රදේශවල තවදුරටත් ජල මට්ටම ඉහළ යෑමේ අවදානමක් තිබෙන බවත්, එය සැලකිය යුතු උසක් දක්වා වර්ධනය වීමේ හැකියාවකුත් තිබෙනවා. මේ ප්‍රදේශවල විශේෂයෙන්ම කතාබහට ලක්වෙන මාවිල් ආරු ගංවතුර වේලි කඩා ගෙන යෑමක් සම්බන්ධයෙන් සොයා බැලීමට, යතුරුපැදි කණ්ඩායම් යෙදවීමට පවා, එම ස්ථානවල පවතින ජල මට්ටම නිසා නොහැකි වී තිබෙනවා. කෙසේ වෙතත් වේලි කඩා ගෙන ගියත් නැතත්, මේ වන විටත් සැලකිය යුතු ලෙස එම ප්‍රදේශ ආවරණය වන පරිදි ගංවතුර පැතිරී තිබෙනවා.
එම නිසා එම තත්ත්වය පිළිබඳව නොසලකා නොහැර, පහළ ප්‍රදේශ සහ විශේෂයෙන්ම කින්නියා, මුතූර් සහ සූරියපුර වැනි ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යමින් සහ එම ප්‍රදේශ හරහා ජලය ගලා යමින් පවතින බැවින්, එම ප්‍රදේශ වල සිටින ජනතාව මේ ගැන අවධානය යොමු කළ යුතුයි. ඉදිරියේදී මේ ප්‍රදේශයේ පවතින තත්වයන් පිළිබඳව තවදුරටත් වැඩි විස්තර ලබා දීමට අපි අපේක්ෂා කරනවා.
ඒ වගේම සමස්තයක් විදිහට ගත් කල, බොහෝ ගංගා ද්‍රෝණිවල ජල මට්ටම සාමාන්‍ය මට්ටමේ පැවතුනත්, කළු ගඟ පිළිබඳ සැලකීමේදී; මෙතෙක් ජල මට්ටම වැඩිවීම සම්බන්ධයෙන් අප එතරම් සැලකිල්ලක් නොදැක්වූවත්, කළු ගඟේ පහළම ප්‍රදේශවල පිහිටි පුටුපාඋල අපගේ මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම් මේ වනවිට 'සුළු ගංවතුර' තත්වයක් දක්වා පැමිණෙමින් සිටින බව අපට පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ඊයේ සහ ඊට පෙර දිනවල රත්නපුර සහ මිල්ලකන්ද ආදී ප්‍රදේශවල ජල මට්ටම ඉහළ අගයක පැවතීමත්, ඒ ජලය දැන් පහළට ගලා ඒමේදී කළුතර ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානම මේ වන විට මතුවී තිබෙනවා.
ඒ නිසා ඉදිරියේදී තවදුරටත් එම ගංවතුර තත්වයන් වැඩි වීමක් පිළිබඳ අපි බලාපොරොත්තු වෙනවා. එහෙත් විශාල වශයෙන් ක්ෂණිකව ජල මට්ටම ඉහළ යනු ඇතැයි අපි අපේක්ෂා කරන්නේ නැහැ. මෙවැනි තත්වයක් යටතේ බොහෝ ගංගා ද්‍රෝණිවල ඉහළ කොටස්වල ජල මට්ටම් අඩුවීමක් දක්නට ලැබුණත්, පහළ ද්‍රෝණිවල ජලය තවමත් බැස ගොස් නැහැ. ඒ වගේම ජල මට්ටම අඩු වෙන ස්ථානවල පවා තවමත් තත්වය පවතින්නේ අනතුරුදායක මට්ටමකයි.
මේ නිසා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ, ජල මට්ටම් අඩු වීමේදී ඇතිවිය හැකි අනතුරු, ජල මට්ටම වැඩි වීමේදී ඇතිවන අනතුරුවලට සමාන බවයි.
මේ නිසා ජල මට්ටම් අඩුවීම දුටු පමණින් එහි දිය නෑමට, ක්‍රීඩා කිරීමට හෝ වෙනත් කටයුතු වලට යාමෙන් වළකින ලෙසත්, ජල මට්ටම් අඩු වීමේදී එම ප්‍රදේශ නැරඹීමට යාම සඳහා ජලයෙන් යටවූ මාර්ග වැනි ස්ථාන පාවිච්චි කිරීමත් ඉතාමත්ම අනතුරුදායක බව අවධාරණය කරනවා. මක්නිසාද යත් මේවායේ අපිට නොපෙනෙන හානි විශාල වශයෙන් සිදුවී තිබිය හැකියි. මෙය දැවැන්ත ජල ගැලීමක්.
එම නිසා බොහෝ පාලම් සහ මාර්ගවලට විශාල ලෙස හානි වී ඇති බැවින්, මාර්ග හොඳින් සකස් වන තුරු කිසිසේත් මේ මාර්ග පාවිච්චි කිරීම අතිශය භයානකයි. ඒ වගේම මේ බැස යන ජලයට බැසීම හෝ මාළු ඇල්ලීම වැනි ක්‍රියාවන් සඳහා යන්න එපා.
එය ජීවිත හානියක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති කාරණාවක්. ඒ නිසා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ වගකිවයුතු පුරවැසියන් හැටියට වගකීමෙන් කටයුතු කළහොත්, මෙය ආපදාවේ අවසාන කොටස ලෙස සලකා, තවදුරටත් ජීවිත හානි හෝ ආපදා ඇති නොකර ගනිමින්, ආරක්ෂා සහිතව කළමනාකරණය කර ගැනීමට හැකි වේ යැයි අපි අපේක්ෂා කරනවා. ඒ නිසා සියලුම දෙනාගෙන්ම වගකීමකින් යුතුව මේ අවස්ථාවේ සහය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval