දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම අනපේක්ෂිත ලෙස ඉහළ යාම නිසා, මේ වනවිට හංවැල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ, වෙළෙඳසැල් මෙන්ම අවට ගම්මාන රැසක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ.
කැලණි ගඟේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යාම හේතුවෙන් සීතාවක සහ හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ගම්මාන ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර, ඉන් පීඩාවට පත් වූ පවුල් විශාල සංඛ්‍යාවක් මේ වනවිට ආරක්ෂිත කඳවුරු වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
එම අවතැන් කඳවුරුවල රැඳී සිටින ජනතාව වෙත අවශ්‍ය පිසූ ආහාර ලබාදීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ අදාළ ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් විධිමත්ව සිදුකෙරෙමින් පවතී.
ගංවතුර තත්ත්වය හේතුවෙන් වනාගොඩ, හංවැල්ල, ආටිගල, කඩුවෙල සහ අඹතලේ යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බැවින් කොළඹ - අවිස්සාවේල්ල පරණ පාරේ රථවාහන ගමනාගමනය වනාගොඩ ප්‍රදේශයෙන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
අද (30) පෙරවරුව වනවිටත් හයිලෙවල් මාර්ගයේ කලුඅග්ගල, වනාගොඩ, පහත්ගම සහ ආටිගල වැනි ප්‍රදේශවල ගංවතුර මට්ටමේ අඩුවීමක් දක්නට නොලැබුණ අතර, එම මාර්ගයේ රථවාහන ධාවනය ද මේ වනවිට ඉතා අවම මට්ටමක පවතී.
සීතාවක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 51ක් ආපදාවට ලක්ව ඇති අතර, ජලයෙන් කොටුවී සිටින ජනතාව බෝට්ටු මගින් මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත.
හංවැල්ල පොලිස් ස්ථානයට ද ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, පොලිස් බැරැක්ක, රථවාහන අංශය සහ සුළු පැමිණිලි අංශය මේ වනවිට ජලයෙන් යටවී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය.
ආපදාවට පත් ජනතාව දැඩි පීඩාවකින් පසුවන මෙම අවස්ථාවේදී ගංවතුර නැරඹීමට සහ විනෝද වීමට පැමිණෙන පිරිස් පාලනය කිරීම සඳහා හංවැල්ල පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සීතාවක - හංවැල්ල සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් දිවා රාත්‍රී පුරා ජනතා සහන සේවාවන්හි නිරතව සිටින අයුරු දැකගත හැකිය.
මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගුවන්තොටුපළ පිවිසුම් මාර්ගවලට ද ගංවතුර බලපෑම් එල්ල වී ඇති බැවින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙන මගීන් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කළ යුතු බවට බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.
ගුවන්තොටුපළ පරිශ්‍රයේ තදබදය අවම කර ගැනීම සඳහා මගීන් ඇරලවීමට පැමිණෙන අමුත්තන් පර්යන්තය වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසත්, පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ ගුවන් ගමන් මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට මගීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම වැඩිදුරටත් නිවේදනය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval