
කැනඩාවේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන 'ප්‍රකාන්' නැමැත්තාගේ ජාවාරම් කටයුතු මෙහෙයවූ පුද්ගලයකු වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල, ලන්සියාවත්ත ප්‍රදේශයේ දී පෙරේදා (19) සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115ක ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත 'අලි' නැමැත්තා විසින් මොහුට මෙම මත්ද්‍රව්‍ය තොගය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, සැකකරු කැනඩාවේ සිටින ප්‍රකාන් නැමැත්තා සමග සෘජුවම සමීප සම්බන්ධතා පවත්වමින් මෙම ජාවාරම සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම සැකකරු මීට වසරකට පමණ පෙර මනුෂ්‍ය ඝාතනයක් සඳහා ආධාර අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකි. බන්ධනාගාරයේ සිටියදී හිතවත් වූ පුද්ගලයකු මාර්ගයෙන් ඔහුට කැනඩාවේ සිටින ප්‍රකාන්ව හඳුනා ගැනීමට අවස්ථාව ලැබී ඇති බවත්, එම හඳුන්වා දීම හරහා මොහු නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමට යොමුව ඇති බවත් පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval