killer-admits-to-committing-kotahena-murder-for-500000-rupees

 කොටහේන ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිටදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා කොමාන්ඩෝ බළකායේ හිටපු සෙබළෙකු වන මොහු කුලී ඝාතකයෙකු ලෙස කටයුතු කර ඇති බවත්,

පළනි රිමෝෂන් නමැත්තා ලබා දුන් රුපියල් ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවක් මත මෙම අපරාධය සිදු කර ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.


කෙසේ වෙතත්, පොරොන්දු වූ මුදලින් සැකකරුට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් පමණක් බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 7 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ කොටහේන කොලේජ් වීදියේ පදිංචිව සිටි බුද්ධික ප්‍රනාන්දු නමැත්තෙකි. මෙම ඝාතනයට ආධාර අනුබල දීම සහ සම්බන්ධ වීම මත මේ වන විට කාන්තාවන් තිදෙනෙකු ඇතුළුව සැකකරුවන් දොළොස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩි තැබීමට පැමිණි මෝටර් රථයේ රියදුරු මෙන්ම, වෙඩික්කරුට සහ රියදුරුට නවාතැන් පහසුකම් සපයා දුන් පුද්ගලයින්ද සිටින බව පොලිසිය පවසයි.

මහියංගණ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් 37 හැවිරිදි ප්‍රධාන සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහි වූ අයෙකි. කොළඹ ප්‍රදේශයේ සිදු වූ තවත් වෙඩි තැබීම් සහ අපරාධ කිහිපයකට මොහුගේ සම්බන්ධයක් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින්, රැඳවුම් නියෝග මත ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.