father-and-son-face-trial-for-allegedly-being-falsely-accused-during-operation-justice

 යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වූ වකවානුවේදී නිකරුණේ තමන්ව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී ‘අයිස්’ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළේ යැයි චෝදනා කරමින් පිය පුතු දෙදෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) දින අවසර ලබා දුන්නේය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් පිරිසකගෙන් රුපියල් කෝටි 10ක වන්දි මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, යසන්ත කෝදාගොඩ, සෝභිත රාජකරුණා සහ මෙනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදු කෙරිණි.




ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාස සංකීර්ණයේ පදිංචි ව්‍යාපාරිකයන් වන මොහොමඩ් සුලයිමාන් සහ ඉෆ්තාන් රාමතුල්ලා යන පිය පුතු දෙදෙනා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. පසුගිය 2024 වසරේ මාර්තු මස 14 වැනි දින 'යුක්තිය මෙහෙයුම' ක්‍රියාත්මක වන අතරතුර පොලිස් නිලධාරීන් පිරිසක් තම නිවසට කඩා වැදී නිවස පරීක්ෂා කර තමන්ට පහර දී අත්අඩංගුවට ගත් බව පෙත්සම්කරුවන් කියා සිටියි. අනතුරුව තමන්ව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත රැගෙන ගොස් එහිදී ද පහර දී, මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට අසත්‍ය චෝදනා ගොනු කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කළ බව ඔවුහු සිය පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දෙති.

පසුකාලීනව තමන්ව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බවත්, පොලිස් නිලධාරීන්ගේ මෙම නීති විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පවසන පෙත්සම්කරුවෝ තමන්ට රුපියල් කෝටි පහ බැගින් වන්දි ගෙවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිති.


මෙහි වගඋත්තරකරුවන් ලෙස ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් පරීක්ෂක ජීවන්ත, කොස්තාපල්වරුන් වන තනූජ, විජේසුන්දර සහ එවකට සිටි පොලිස් ස්ථානාධිපතිවරයා නම් කර ඇති අතර, පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චලන පෙරේරා මහතා සමඟ නීතිඥ හිජාබ් හිස්බුල්ලා මහතා පෙනී සිටියේය.