qatar-charity-program-provides-public-water-facilities-to-sri-lanka

 ශ්‍රී ලංකාවේ, පොදු ජල ජාල පහසුකම් නොමැති ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් "කටාර් චැරිටි" (Qatar Charity) ආයතනය පසුගිය මාස 20 ක කාලය තුළ ළිං 418 ක් ඉදිකර තිබේ. මෙමගින් පුද්ගලයින් 28,100 කට අධික පිරිසකට පිරිසිදු සහ ආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය හිමි වී ඇත.



මෙම වැඩසටහන මගින්, දෛනිකව ජලය ලබා ගැනීම සඳහා දිගු දුරක් ගමන් කිරීමට සිදු වූ පවුල් දහස් ගණනක දුෂ්කරතා අවම කිරීම අරමුණු කරගෙන තිබේ. විශේෂයෙන්ම ළමුන් මුහුණ දුන් සෞඛ්‍ය අවදානම්, ශාරීරික වෙහෙස සහ මූල්‍යමය පීඩනය ලිහිල් කිරීමට මෙමගින් හැකි වී ඇත.




කටාර් චැරිටි ආයතනය අවධාරණය කරන්නේ, මෙම ළිං එක් එක් ඉලක්කගත ප්‍රදේශයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සකස් කළ බවයි. ඒ අනුව, මීටර් 45ක් ගැඹුරු, ජල ටැංකි සහ විදුලි පොම්ප සහිත ළිං, මීටර් 22ක් ගැඹුරු සමාන පහසුකම් සහිත ළිං මෙන්ම, මීටර් 30ක් ගැඹුරු අත් පොම්ප (manual pumps) සහිත ළිං ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. එමගින් දිළිඳු කුටුම්භ සඳහා තිරසාර ජල ප්‍රවේශයක් සහතික කර ඇත.

ජලය සහ සනීපාරක්ෂාවට අමතරව, අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික සවිබල ගැන්වීම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ද කටාර් චැරිටි ආයතනය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. පාසල් සහ දේවස්ථානවල ජල සිසිලන යන්ත්‍ර සවි කිරීම සහ ගෘහස්ථ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ද මීට සමගාමීව සිදු කර ඇත. තවද, ලවණතාවයෙන් සහ දූෂණයෙන් පීඩාවට පත් ගම්මානයක් සඳහා දිනකට ලීටර් 10,000 ක ධාරිතාවකින් යුත් ලවණ ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් (desalination plant) දියත් කිරීමට ද සූදානම් වෙමින් පවතී.