customs-releases-625-detained-byd-vehicles

 ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී. (BYD) වර්ගයේ වාහන 625ක්, බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදා හැරීමට එම දෙපාර්තමේන්තුව ඊයේ (11) අභියාචනාධිකරණය හමුවේ සිය එකඟත්වය පළ කළේය.

බී.වයි.ඩී. ඔටෝ ප්‍රිමියම් කිලෝ වොට් 70, ඔටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඔටෝ ප්‍රිමියම් කිලෝ වොට් 45 සහ ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 ඇතුළු කාණ්ඩ කිහිපයකට අයත් වාහන මෙලෙස මුදා හැරීමට නියමිතය.

අදාළ වාහන තොගය ආනයනය කරන ලද ජෝන් කීල්ස් “සීජී” පුද්ගලික සමාගම විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී රේගුව මෙම එකඟතාව පළ කරන ලදී. තමන් ආනයනය කළ වාහන තොගය රේගු භාරයෙන් නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි. මෙම පෙත්සම විභාගයට ගැනුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේය.




නඩුව කැඳවූ අවස්ථාවේදී, ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා, රඳවාගෙන ඇති අදාළ වාහන 625 බැංකු සහ සමාගම් ඇපකර මත මුදා හැරීමට තම පාර්ශ්වය එකඟ වන බව අධිකරණයට දැනුම් දුන්නේය. පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මියද එම එකඟතාවට සිය කැමැත්ත පළ කළාය.

දෙපාර්ශවය විසින්ම ඉදිරිපත් කළ මෙම එකඟතාව සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, එකඟ වූ ඇපකර කොන්දේසි මත එම බී.වයි.ඩී. වාහන තොගය මුදා හරින ලෙස නියෝග කර සිටියේය.