protesting-by-wearing-large-onion-necklaces
දේශීය ලොකු ලූනු අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන් පත්ව ඇති දැඩි අසීරුතාවයට විරෝධය පළ කරමින්, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලොකු ලූනුවලින් සකසන ලද මාල පැළඳ ඊයේ (12) පැවති මාසික මහා සභා රැස්වීමට පැමිණීමත් සමඟ සභාව තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබියදී, සීගිරිය - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සිට විරෝධතාවයේ නිරත වෙමින් පැමිණි කේ.ජී. සෝමතිලක, ප්‍රියරංජන කුමාර, නන්දන සෙනවිරත්න සහ ජගත් සේනානායක යන විපක්ෂ මන්ත්‍රීවරුන් "ගොවි පුතා රජ වුණා - ගොවියාට කෙළ වුණා" යනුවෙන් සටන් පාඨ කියමින් සභා ගර්භයට ඇතුළු වී ඇත.




මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රී නන්දන සෙනෙවිරත්න මහතා දැඩිව චෝදනා කර සිටියේ, වත්මන් සභාපතිවරයා සහ නාමල් කරුණාරත්න මහතා අතීතයේ දඹුල්ලේ රැඳී සිටිමින් ගොවීන් වෙනුවෙන් අරගල කළද, මෙවර ලොකු ලූනු ගොවීන් අසරණ වන තෙක් ඔවුන් නිහඬව බලා සිටි බවයි.

ලොකු ලූනු අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ගොවීන් දෙදෙනෙකු වස පානය කර රෝහල්ගත කර ඇති බවට මන්ත්‍රී ජගත් සේනානායක මහතා සිදුකළ ප්‍රකාශයත් සමඟ සභාවේ උණුසුම තවදුරටත් ඉහළ ගිය අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තර්ක කළේ අදාළ පුද්ගලයින් වස පානය කර ඇත්තේ වෙනත් පෞද්ගලික හේතූන් මත බව පවසමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

විනාශ වී ගිය ලූනු අස්වැන්න වෙනුවෙන් ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජයට යෝජනා කරන ලෙසත්, ඊට විපක්ෂයේ පූර්ණ සහය ලබා දෙන බවත් මන්ත්‍රීවරුන් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියද, තමන්ට එවැනි යෝජනාවක් ගෙන ඒමට හැකියාවක් නොමැති බව සභාපතිවරයා එහිදී දැනුම් දී තිබේ.
gossiplanka image 1