ලෝක ජනගහනයෙන් සෑම මිලියන හයකටම එක් අයෙකුට පමණක් පිහිටන අතිශය දුර්ලභ රුධිර ගණයක් වන Rh null රුධිර කාණ්ඩය විද්‍යාඥයින් විසින් රසායනාගාරය තුළ නිපදවීමට උත්සාහ කරමින් සිටින්නේ එය ජීවිත රැසක් බේරා ගැනීමට හැකි අගනා සම්පතක් වන බැවිනි. රුධිර පාරවිලයනය නූතන වෛද්‍ය විද්‍යාවේ විප්ලවීය වෙනසක් ඇති කළ ක්‍රියාවලියක් වන අතර හදිසි අනතුරක් හෝ බරපතල සැත්කමක් වැනි අවස්ථාවකදී වෙනත් අයෙකුගෙන් ලැබෙන රුධිරය රෝගියෙකුගේ ජීවිතය රැක ගැනීමට මහත් පිටිවහලක් වෙයි.
කෙසේ වෙතත් දුර්ලභ රුධිර වර්ග සහිත පුද්ගලයින්ට තමන්ගේ රුධිරයට ගැලපෙන පරිත්‍යාගශීලියෙකු සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් වන බැවින් මෙම පහසුකම සෑම කෙනෙකුටම එක ලෙස භුක්ති විඳීමේ හැකියාවක් නොමැත. ලොව පුරා දැනට සොයාගෙන ඇති පුද්ගලයින් 50 දෙනෙකුට පමණක් සීමා වී ඇති Rh null රුධිර ගණය සහිත පුද්ගලයින්ට හදිසි අවස්ථාවකදී රුධිර පාරවිලයනයක් අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ ජීවිත අවදානම ඉතා ඉහළ මට්ටමක පවතී.මෙවැනි දුර්ලභ ගණයේ රුධිරය ඇති පුද්ගලයින්ට වෛද්‍යවරුන් බොහෝ විට ලබා දෙන උපදෙස වන්නේ තමන්ගේම රුධිරය දීර්ඝකාලීන ගබඩා කිරීම සඳහා ශීතකරණය කර තබා ගන්නා ලෙසයි. මෙම දුර්ලභත්වය නිසාම මෙම රුධිර වර්ගය වෛද්‍ය හා පර්යේෂණ ලෝකය තුළ "රන් රුධිරය" (Golden Blood) ලෙස හඳුන්වනු ලබන අතර එය විශ්වීය රුධිර පාරවිලයන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම සඳහා විද්‍යාඥයින්ට මහත් උපකාරයක් විය හැකිය.
මිනිස් සිරුරේ රුධිරය වර්ගීකරණය කරනු ලබන්නේ රතු රුධිර සෛල මතුපිට ඇති 'ඇන්ටිජන්' (antigens) නම් විශේෂිත සලකුණු මත පදනම්ව වන අතර, ප්‍රෝටීන හෝ සීනිවලින් සැදුම්ලත් මෙම ඇන්ටිජන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් හඳුනා ගැනීමේ හැකියාව පවතී. බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ සෛල ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඈෂ් ටෝයි පවසන පරිදි ඔබේ රුධිරයේ ඇති ඇන්ටිජන්වලට වඩා වෙනස් ඇන්ටිජන් සහිත රුධිරයක් ශරීරයට ඇතුළු වුවහොත් ශරීරය විසින් ඊට එරෙහිව ප්‍රතිදේහ නිපදවා එම රුධිරයට පහර දෙනු ඇත.
ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රබලතම ප්‍රතිචාරය ඇති කරන්නේ ABO සහ Rhesus (Rh) යන රුධිර කාණ්ඩ පද්ධති දෙක වන අතර A, B, AB සහ O ලෙස රුධිර වර්ග බෙදා වෙන් කෙරේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී O නෙගටිව් රුධිරය ඇති පුද්ගලයින් විශ්වීය දායකයින් ලෙස හැඳින්වුවද, 2024 ඔක්තෝබර් මාසය වන විට සොයාගෙන ඇති රුධිර කණ්ඩායම් 47ක් සහ විවිධ ඇන්ටිජන් 366ක් පවතින නිසා එම මතය සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ. Rh නෙගටිව් යැයි පවසන විට බොහෝ දෙනා අදහස් කරන්නේ Rh(D) ඇන්ටිජනය නොමැති බව වුවද, ඔවුන්ගේ රුධිර සෛලවල තවත් Rh ප්‍රෝටීන වර්ග 50කට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු විය හැකි බැවින් නියම ගැලපීමක් සොයා ගැනීම අභියෝගාත්මක වී තිබේ. නමුත් Rh null රුධිරය සහිත පුද්ගලයින්ගේ රුධිරයේ මෙම Rh ඇන්ටිජන් 50ම නොමැති වීම විශේෂත්වයක් වන අතර, එම නිසා ඕනෑම Rh රුධිර වර්ගයක් සහිත රෝගියෙකුට මෙම රුධිරය ලබා දීමේ හැකියාව පවතී.
Rh null රුධිරය සතුව ඇති මෙම සුවිශේෂී විශ්වීය ගුණාංගය නිසා හදිසි අවස්ථාවකදී රෝගියෙකුගේ රුධිර වර්ගය නොදන්නා විට අසාත්මිකතා ඇතිවීමේ අවදානමකින් තොරව මෙය ලබා දිය හැකි බැවින් විද්‍යාඥයින් මෙම "රන් රුධිරය" කෘතිමව නිපදවීමට පර්යේෂණ සිදු කරමින් පවතී. මෑත කාලීන පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ RHAG නමින් හැඳින්වෙන ප්‍රෝටීනයකට බලපාන ජානමය විකෘතිතා හේතුවෙන් මෙම Rh null රුධිරය නිර්මාණය වන බවයි. 2018 වසරේදී බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් Crispr-Cas9 නම් ජාන සංස්කරණ තාක්ෂණය යොදා ගනිමින් රසායනාගාරයක් තුළ නොමේරූ රතු රුධිර සෛල භාවිතයෙන් Rh null රුධිරය ප්‍රතිනිර්මාණය කිරීමට සමත් විය.
මෙහිදී රුධිර පාරවිලයනයේදී ගැටළු ඇති කරන ප්‍රධාන ඇන්ටිජන් වර්ග පහක් ඉවත් කිරීම මගින් ඕනෑම අයෙකුට ගැලපෙන ආකාරයේ "අති-ගැලපෙන" (ultra-compatible) සෛල නිපදවීමට ඔවුහු උත්සාහ කළහ.
කෙසේ වෙතත් ජාන සංස්කරණ තාක්ෂණය ලොව පුරා දැඩි නීති රීතිවලට යටත් ක්‍රියාවලියක් බැවින් මෙම තාක්ෂණය සායනික මට්ටමින් රෝගීන් සඳහා භාවිතා කිරීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති අතර එයට සායනික පරීක්ෂණ රැසක් පසු කිරීමට සිදුවනු ඇත. මේ අතර මහාචාර්ය ටෝයි ඇතුළු කණ්ඩායම Scarlet Therapeutics නමින් සමාගමක් ආරම්භ කර ඇති අතර එමගින් දුර්ලභ රුධිර වර්ග සහිත පුද්ගලයින්ගෙන් රුධිර සාම්පල ලබාගෙන රසායනාගාර තුළ අඛණ්ඩව රතු රුධිර සෛල නිපදවීමට පර්යේෂණ සිදු කරයි. ඇමරිකාවේ මිල්වෞකි හි Versiti රුධිර පර්යේෂණ ආයතනය සහ කැනඩාවේ ක්විබෙක් හි ලාවල් විශ්ව විද්‍යාලය වැනි තවත් පර්යේෂණ ආයතන රැසක්ද කඳ සෛල (stem cells) තාක්ෂණය යොදා ගනිමින් මෙම දුර්ලභ රුධිර වර්ග නිර්මාණය කිරීමට තරගකාරීව කටයුතු කරමින් සිටී.
රසායනාගාර තුළ රුධිරය නිපදවීමේදී මතුවන ප්‍රධානම අභියෝගය වන්නේ ශරීරය තුළ ඇට මිදුළු මගින් සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය පිටතදී අනුකරණය කරමින් කඳ සෛල පරිණත රතු රුධිර සෛල බවට පත් කිරීමයි. දැනට පවතින තත්ත්වය අනුව රෝගීන් සඳහා අවශ්‍ය රුධිරය ලබා ගැනීමේ වඩාත්ම කාර්යක්ෂම සහ ලාභදායී ක්‍රමය වන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගන්නා රුධිරය වන අතර නුදුරු අනාගතයේදීත් රුධිර පරිත්‍යාගශීලීන්ගේ අවශ්‍යතාවය අඛණ්ඩව පවතිනු ඇත. කෙසේ වෙතත් සාමාන්‍ය ක්‍රමයට රුධිරය සොයා ගැනීමට අපහසු දුර්ලභ රුධිර වර්ග සහිත පුද්ගලයින් සඳහා රසායනාගාරයේ නිපදවන රුධිරය අනාගතයේදී ජීවිතාරක්ෂක විකල්පයක් වනු ඇති බව පර්යේෂකයින්ගේ විශ්වාසයයි.
Comments
Post a Comment
Your comment will be visible after approval