බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා තමන් නැවත මව්බිමට පැමිණීම සඳහා මූලික කොන්දේසි තුනක් ඉටුවිය යුතු බව අවධාරණය කර තිබේ. ඉන්දියාවේ රැඳී සිටින ඇය PTI පුවත් සේවය සමඟ විද්‍යුත් තැපෑල හරහා පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ, "සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය" යළි ස්ථාපිත කිරීම, අවාමි ලීග් පක්ෂයට පනවා ඇති තහනම ඉවත් කිරීම සහ නිදහස්, සාධාරණ මෙන්ම සියල්ලන්ටම සහභාගී විය හැකි මැතිවරණයක් පැවැත්වීම යන සාධක මත
තම පුනරාගමනය තීරණය වනු ඇති බවයි. දැනට පවතින මොහොමඩ් යූනුස්ගේ අන්තර්වාර පාලනය විසින් ඉන්දියාව සමඟ පවතින සබඳතා අනතුරේ හෙළමින් අන්තවාදී බලවේග ශක්තිමත් කරමින් සිටින බවට ද ඇය මෙහිදී දැඩි චෝදනාවක් එල්ල කළාය.තම විදේශ ප්‍රතිපත්තිය සහ වත්මන් අන්තර්වාර රජයේ ක්‍රියාකලාපය සංසන්දනය කළ හසීනා, ඩකා සහ නවදිල්ලිය අතර පවතින ගැඹුරු සබඳතාවය යූනුස් පාලනයේ අමනෝඥ තීරණ හමුවේ වුවද නොසැලී පවතිනු ඇතැයි විශ්වාසය පළ කළාය. තමාට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට ස්තූතිය පළ කළ ඇය, ඉන්දීය රජයේ සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය පිළිබඳව තමන් ඉමහත් කෘතඥතාවක් දක්වන බව සඳහන් කළාය. බංග්ලාදේශ ජනතාව අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව නැවත නිර්මාණය කිරීම තම පැමිණීමේ ප්‍රධානතම කොන්දේසිය බවත්, අවාමි ලීග් පක්ෂයට එරෙහි තහනම ඉවත් කර සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අන්තර්වාර පාලනයේ වගකීමක් බවත් ඇය පෙන්වා දුන්නාය.
සති ගණනාවක් පුරා පැවති ප්‍රචණ්ඩකාරී විරෝධතා හමුවේ 2024 අගෝස්තු 5 වන දින රටින් පිටව ගිය ෂෙයික් හසීනා, බංග්ලාදේශයේ වැඩිම කාලයක් අගමැති ධූරය දැරූ නායිකාවයි. එම විරෝධතා හමුවේ තම රජය තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වූ බව පිළිගත් ඇය, ඊට කනගාටුව පළ කළ නමුත්, ශිෂ්‍ය නායකයන් ලෙස පෙනී සිටි පළපුරුදු දේශපාලන උසිගන්වන්නන් ද මෙම තත්ත්වයට වගකිව යුතු බව අවධාරණය කළාය. ලබන වසරේ පෙබරවාරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය වර්ජනය කිරීමට තමන් ඉල්ලා සිටි බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කළ හසීනා, අවාමි ලීග් පක්ෂය නොමැතිව පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් නීත්‍යානුකූල නොවන බව කියා සිටියාය.
මිලියන ගණනක ජනතා සහායක් ඇති තම පක්ෂය ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය ලෙස දේශපාලන ක්‍රියාවලියට දායක විය යුතු බව ඇය පෙන්වා දුන් අතර, අන්තර්වාර රජය ඉන්දියාව සමඟ පවතින සබඳතා පළුදු කරමින් සිටින බවට චෝදනා කළාය. යූනුස්ගේ පාලනය අන්තවාදීන් මත යැපෙන, ඡන්දයෙන් පත් නොවූ අස්ථාවර පාලනයක් ලෙස හැඳින්වූ ඇය, ඉන්දියාව සැමවිටම බංග්ලාදේශයේ සමීපතම මිතුරා ලෙස පවතිනු ඇති බවට ඉන්දීය ජනතාවට සහතික වූවාය. තවද, ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි අපක්ෂපාතී ආයතනයක් හමුවේ නඩු විභාගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත්, යූනුස්ගේ රජය තමාට මරණ දඬුවම ලබා දීම සඳහා දේශපාලනික අරමුණු මත පිහිටුවා ගත් අධිකරණ ක්‍රියාදාමයක් අනුගමනය කරමින් සිටින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval