president-meets-with-business-community-at-night-and-asks-for-help

 විපතට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට මෙන්ම රටේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ පූර්ණ සහාය රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමඟ ඊයේ (29) රාත්‍රියේ ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලදී.



රටේ පවතින හදිසි ආපදා තත්ත්වය පිළිබඳව මෙන්ම විපතට පත් ජනතාව මුදා ගැනීම සහ ඔවුනට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා මෙම හමුවේදී ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළේය. එම ක්‍රියාමාර්ග කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා ව්‍යාපාරික ප්‍රජාව වෙතින් ලබා ගත හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

පවතින හදිසි තත්ත්වය හමුවේ කාර්මික ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග ජය ගැනීම සහ රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ නොදී කර්මාන්ත ක්ෂේත්‍රයේ ශක්තිමත්භාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු හදිසි පියවර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි.



සංචාරක කර්මාන්තය, ගුවන් තොටුපළ සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල පවතින ගැටලු පිළිබඳව මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන ලදී. ආපදා තත්ත්වය පහව යාමෙන් අනතුරුව ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග, විශේෂයෙන් විදුලිය සහ පානීය ජලය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම ප්‍රධාන මාර්ග සහ පාලම් ඇතුළු තෝරාගත් යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4



gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7



gossiplanka image 9
gossiplanka image 10