policeman-leaves-firearm-at-homagama-central-college-al-centre-disappears

 හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති අ.පො.ස උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනි අවිය සගයෙකුට ලබා දී සේවය අතහැර යාමේ සිද්ධියක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට හෝමාගම පොලිස් කොට්ඨාසය පියවර ගෙන තිබේ.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අංක 96819 දරන ඩබ්ලිව්.ඒ.ඩී.පී. වනිගසූරිය නමැති පොලිස් කොස්තාපල්වරයා වන අතර හෝමාගම දිස්ත්‍රික් එක භාර සහකාර පොලිස් අධිකාරී සමන් ජයලත් මහතා විසින් මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇත.




අදාළ නිලධාරියා පසුගිය 8 වැනිදා සිට තවත් කොස්තාපල්වරයෙකු සමඟ මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිට ඇති අතර ඔහු සතුව ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් තිබී ඇත. හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ඉකුත් 19 වැනිදා විභාග මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී සැකකාර කොස්තාපල්වරයා සිය රාජකාරි ගිනි අවිය අනෙක් නිලධාරියාට භාර දී රාජකාරි ස්ථානයෙන් පිටව ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ.

මෙම සිදුවීමෙන් පසු සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ කොස්තාපල්වරයා නැවත රාජකාරියට වාර්තා කර නොමැති බවත් පොළොන්නරුවේ පිහිටි ඔහුගේ නිවසට හෝ ගොස් නොමැති බවත් ය. ඔහු මේ වන විට ආගිය අතක් නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.