
ඉංගිරිය මහ ඉංගිරිය සුසාන භූමිය ආසන්නයේදී පුද්ගලයන් සිව්දෙනකු ද සමග රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ලොරි රථයක් බලහත්කාරයෙන් පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹුසැමියන් යුවළක් අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.
මෙම සිද්ධියට අදාළ පැහැර ගැනීමට ලක්වූ ලොරි රථය ද සොයාගෙන පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ. ඉංගිරිය, රයිගම් වත්ත උඩ කොටසේ පදිංචි කාඩ්බෝඩ් වෙළෙඳාමේ නියුතු පුද්ගලයෙකු විසින් මීට වසර පහකට පමණ ඉහතදී ගෙවීමේ පදනම මත රුපියල් දස ලක්ෂ පනස් දහසක පමණ මුදලකට මෙම ලොරි රථය ලබාගෙන ඇති බවත්, පසුව වාරික ගෙවා ගැනීමට නොහැකිව ලීසින් සමාගම විසින් රථය අත්පත් කරගත් අවස්ථාවේදී ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාවගෙන් රුපියල් ලක්ෂ 11ක මුදලක් ණයට ගෙන එම රථය නැවත මුදාගෙන ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.පසුව ලබා දුන් රුපියල් ලක්ෂ 11 කට අමතරව තවත් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් තමන්ට අවශ්‍ය බව සැකකාර කාන්තාව දැන්වීමත් සමඟ, පැමිණිලිකරු තම මිතුරකු මාර්ගයෙන් ලොරි රථයට නැවත ලීසින් පහසුකමක් ලබාගෙන රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් ඇය වෙත පියවා තිබේ. වෙළෙඳාම් කටයුතු කර ඉතිරි ලක්ෂ දෙකක මුදල ලබා දෙන තෙක් මාස අටක කාලයක් තිස්සේ මසකට රුපියල් විසි දහස බැගින් වූ පොලී මුදලක් සැකකාරිය වෙත ලබා දී ඇතත්, අතරමැදදී මාස දෙකක පොලී මුදල් ගෙවීමට පැමිණිලිකරු අසමත් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය වූ දිනයේ පැමිණිලිකරු, රියැදුරු, මිතුරකු සහ තම පියා සමග වෙළෙඳාම් කටයුතු සඳහා ඉංගිරිය නගරයට පැමිණ නැවත පාදුක්ක දෙසට ගමන් කරමින් සිටියදී මහ ඉංගිරිය සුසාන භූමිය අසල දී සැකකාරිය සහ ඇයගේ සැමියා යතුරු පැදියකින් පැමිණ ලොරි රථය හරස් කර නවත්වා ඇත. තමන්ට ලැබිය යුතු මුදල් ලබා නොදුනහොත් ලොරි රථය ලබා නොදෙන බවත්, ලොරිය තමන් රැගෙන යන බවත් පවසා තර්ජනය කරමින් ලොරි රථයේ ගමන් ගත් පිරිසට එහි පිටුපසට නගින ලෙස ඔවුන් අණ කර තිබේ.
සැකකරුවන්ගෙන් විය හැකි කරදරයක් පිළිබඳ ඇතිවූ බිය හේතුවෙන් ලොරි රථයේ පිටුපසට නැගීමෙන් අනතුරුව, එම පිරිස සැකකාරියගේ නිවස වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවත්, මුදල් ලබා දෙන්නේ නම් පමණක් වාහනය මුදා හරින බව පවසා ඔවුන් රථය රඳවාගත් බවත් සඳහන් කරමින් පැමිණිලිකරු පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පුද්ගලයන් සිව් දෙනකු සමග ලොරිය පැහැරගත් බව කියන අඹුසැමියන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval