9600-in-bypass-queue-at-national-hospital-5000-in-angiogram-queue

 කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර අංශයන්හි පවතින දැඩි තදබදය හේතුවෙන් රෝගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව පසුගියදා පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ

බයිපාස් සැත්කම් සහ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා රෝගීන් දහස් ගණනින් පොරොත්තු ලේඛනවල රැඳී සිටින බවයි.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ දත්තවලට අනුව කොළඹ ජාතික රෝහලේ බයිපාස් සැත්කම් සිදුකර ගැනීම සඳහා මේ වන විට රෝගීන් 9600 ක පමණ අතිශය දිගු පෝලිමක් නිර්මාණය වී ඇති අතර ඒ සඳහා රෝගියෙකුට වසර පහක පමණ දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුවී තිබේ. මීට අමතරව එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා ද පන්දහසක පමණ පිරිසක් ලියාපදිංචි වී පෝලිම්වල සිටින බැවින් එක් රෝගියෙකුට එම පරීක්ෂාව සිදු කර ගැනීම සඳහා අවම වශයෙන් මාස හතක පමණ කාලයක් බලා සිටීමට සිදුවන බව හෙතෙම සඳහන් කළේය.




මෙරට සිදුවන සමස්ත මරණවලින් බහුතරයක් එනම් සියයට අසූවක් පමණම බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන ඒවා බවත් ඉන් සියයට 34 ක ප්‍රතිශතයක් හෘදය වස්තුව ආශ්‍රිත රෝගාබාධ බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම දත්ත විශ්ලේෂණයේදී විශේෂයෙන් පුරුෂ පාර්ශවය වැඩි වශයෙන් හෘදයාබාධ හේතුවෙන් මරණයට පත්වන ප්‍රවණතාවක් පවතින අතර කාන්තාවන් වැඩි පිරිසක් ආඝාතය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම තත්ත්වය පාලනය කිරීම සහ රෝහල් පද්ධතියේ පවතින අඩුපාඩු මගහරවා ගැනීම සඳහා රජය කඩිනම් පියවර ගනිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ මහල් 16 කින් යුත් නව හෘද රෝහල් සංකීර්ණයක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළේය. මීට අමතරව පළාත් මට්ටමින් ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් බදුල්ල රෝහලේ ගොඩනැගිල්ලක මහල් තුනක් හෘද රෝග ප්‍රතිකාර සේවාවන් සඳහා වෙන් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.