pasindu-who-passed-away-in-the-thalawa-bus-accident

 තලාව පොලිස් වසමට අයත් ජය ගඟ මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තවත් 47 දෙනකු තුවාල ලබා තිබේ.



මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හඟුරන්කෙත, 411/4 ලිපිනයේ පදිංචිව සිටි තලාව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි පසිඳු දිල්ෂාන් නන්දසේන නැමැති සිසුවෙකි.

ඊයේ (10) දහවල් 12.15 ට පමණ තලාව ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කළ මෙම බස් රථය විනාඩි 15කට පමණ පසු 411 ගම්මානය දෙසට ධාවනය වෙමින් තිබියදී මුදුනේගමට නුදුරු 409 තම්මැන්නාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

ඉදිරියෙන් අපරික්ෂාකාරී ලෙස පැමිණි යතුරුපැදියකට ඉඩ දීමට යාමේදී එය බස් රථයේ ගැටී රථය පල්ලමකට පෙරළී ගිය බව රියදුරු පවසා ඇති අතර, අදාළ යතුරුපැදිකරු අනතුරින් පසු පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.





අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 60 කට ආසන්න පිරිසක් බස් රථයේ සිට ඇති අතර උසස් පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ සහ සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ සඳහා සහභාගී වී නිවෙස් බලා යමින් සිටි සිසු සිසුවියන් රැසක් ඒ අතර වූ බව වාර්තා වේ.

“දවල් දොළහයි තිහට පමණ මහා විශාල හඬක් ඇහුණා. හරියට අකුණු ගහනවා වගෙයි. මහා ශබ්ද තුනක් ඇහුණා. දුවගෙන ඇවිත් බලද්දී බස්එක ප්‍රපාතයට පෙරලිලා. මිනිස්සු මරළතෝනි දෙනවා.

ඉස්කෝලේ ළමයි පිරිසකුත් යටවෙලා හිටියා. මම කෑගහගෙන අවට මිනිසුන්ට කතා කළා" යැයි තලාව බස් අනතුර දුටු රංජනී සුබසිංහ මහත්මිය ඊයේ (10) පැවැසුවාය.


අනතුර සිදුවූ අවස්ථාවේ මගීන්ගේ විලාප හඬ ඇසී දුවගෙන ආ ප්‍රදේශවාසීන් සහ මගීන් එක්ව බැකෝ යන්ත්‍ර දෙකක් ආධාරයෙන් බස් රථය ඔසවා තුවාලකරුවන් රෝහල් ගත කිරීමට දැඩි පරිශ්‍රමයක් දරා තිබිණි.

තලාව රෝහලට ඇතුළත් කළ තුවාලකරුවන්ගෙන් 37 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථ විස්සක් පමණ යොදාගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් පසු මෙම මාර්ගය පටු වී ඇති බැවින් වාහන දෙකක් මාරු වීමට පවා අපහසු තත්ත්වයක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරට හේතුව කාර්මික දෝෂයක්ද නැතහොත් යතුරුපැදිකරුගේ නොසැලකිල්ලද යන්න පිළිබඳව තලාව සහ තඹුත්තේගම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදු කරයි.