unexpected-death-of-sabaragamuwa-university-student-due-to-a-stomach-ulcer

 සබරගමු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි 21 හැවිරිදි දනුක ගංගාසර දිසානායක නම් තරුණයෙකු, උගුරේ ඇති වූ සෙම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 02 වැනි දින හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනපේක්ෂිත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.



හදිසි වියෝවෙන් කම්පනයට පත්, මියගිය තරුණයාගේ එකම සහෝදරිය වන 25 හැවිරිදි තරිෂා දිසානායක පවසන්නේ, නිරෝගීව හා ප්‍රබෝධයෙන් සිටි තම සොහොයුරාගේ හදිසි අභාවය තමන්ට එකවර විශ්වාස කිරීමට නොහැකි වූ බවයි. තමාට මෙන්ම තම සොහොයුරාට ද සිටියේ එකිනෙකා පමණක් බවත්, ඔවුන් අතර ඉතා කිට්ටු සබඳතාවක් පැවති බවත් ඇය කඳුළු සලමින් සඳහන් කළාය.

දෙක වසරේ සිට කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දනුක, සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වී උසස් පෙළ සඳහා ගණිත අංශය තෝරාගෙන තිබේ. ගණිතයට මෙන්ම භෞතික විද්‍යාවටද එකසේ දස්කම් පෑ ඔහු, විශිෂ්ට ප්‍රතිඵල ලබා සබරගමු විශ්වවිද්‍යාලයට තේරී පත් වූයේ දෙමාපියන් වන ප්‍රේමලාල් දිසානායක සහ සමන්තා කරුණාරත්න යන අයට මහත් බලාපොරොත්තු එක් කරමිනි.




දනුකගේ එකම සොහොයුරිය මීට මාසයකට පෙර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර ඇති අතර, ඔවුන්ගේ මව සහ පියා ද එම විශ්වවිද්‍යාලයේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කිරීම විශේෂත්වයකි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කර සතියක් වැනි කෙටි කාලයක් වුවද, දනුක සිය මිත්‍රශීලී ගතිගුණ හේතුවෙන් නව මිතුරන් රැසක් දිනාගෙන සිටියේය. ගීත ගැයීමට, ගිටාර් වාදනයට මෙන්ම පිහිනීමට හා නාට්‍ය කලාවටද දස්කම් දැක්වූ ඔහු, නිතරම සතුටින් විනෝදයෙන් කාලය ගත කළ, අසල්වැසියන්ගේ පවා ආදරය දිනාගත් තරුණයෙකු ලෙස ප්‍රකටව සිටියේය.

විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ සතියක පමණ කාලයක් නතර වී සිටි දනුක, පසුගිය 31 වන සිකුරාදා රාත්‍රියේ නිවාඩුවක් සඳහා නිවසට පැමිණ තිබේ. පැමිණෙන විට සුළු සෙම්ප්‍රතිශ්‍ය ගතියක් පැවති අතර, පසුදා ඊට ප්‍රතිකාර ද ලබාගෙන තිබිණි. 02 වන දින ඔහු, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන සිය කිට්ටු මිතුරෙකුගේ ගෝනපල ප්‍රදේශයේ පිහිටි නිවසේ පැවති උපන් දින සාදයකට සහභාගී වීමට පිටත්ව ගොස් ඇත.

එදින සවස 6.30 ට පමණ මවට ඇමතුමක් ගෙන තමාට 'සෙම්ගෙඩි' (උගුරේ ආබාධයක්) ඇති බව පවසා ඇති අතර, ඒ වන විටත් ඔහුගේ කටහඬ වෙනස් වී තිබී ඇත. සාදයට සහභාගී වූ නිවසේදී, සෙම් අමාරුව සඳහා මිතුරා විසින් සාදා දෙන ලද ඉඟුරු, දෙහි සහ සුදුලූනු අඩංගු දේශීය අත්බෙහෙතක් පානය කිරීමෙන් පසු ඔහුට සෙම පිටවී ඇතත්, කතා කිරීමේ අපහසුතාවක් මතුවී තිබේ.




මිතුරා තම දෙමාපියන් සමඟ ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ, දනුකගේ අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බව නිවසේ සිටි අනෙක් අයට නිරීක්ෂණය වී ඇත. වහාම ඔහුව හොරණ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන ගිය අතර, එතැනින් රෝහල් ගත කරන ලෙස උපදෙස් ලැබී තිබේ. මිතුරාගේ මෝටර් රථයෙන් රෝහලට රැගෙන යන අතරතුර, "මට හුස්ම ගන්න අමාරුයි" යන්න දනුක පැවසූ අවසන් වචන බව කිසිවෙකුත් දැන සිටියේ නැත.

හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද අතර, හොරණ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා විසින් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලදී.

වැල්මිල්ල හන්දිය, කිඳෙල්පිටිය, මහවත්ත ප්‍රදේශයම ශෝකයෙන් නහවමින්, විශාල ජනකායකගේ අවසන් ගෞරව මැද දනුක ගංගාසර ගේ දේහය මිහිදන් කෙරුණේ, හෙට දින සමාජයට වටිනාකමක් එක් කිරීමට නියමිතව සිටි තවත් දක්ෂ තරුණයෙකු රටට අහිමි කරමිනි.



gossiplanka image 2