එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (10) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
මෙරට ඉතිහාසයේ විශාලතම වැඩ කොටසක් ඉටු කළ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තුළ නව වැඩසටහනක් සහ අලුත් නිර්මාණයක් වෙනුවෙන් පක්ෂ නායකත්වය තමාට පැවරූ වගකීම භාරගත් බවත්, ඉදිරි මාස හය ඇතුළත රට පුරාම තරුණ හා නව මුහුණුවරකින් යුත් දැවැන්ත බලවේගයක් පක්ෂය වටා ගොඩනගන බවත් වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුවට දේශපාලන දිශානතියක් නොමැති බවත් ඔවුන් මේ වන විට සමාජවාදී හෝ වාමාංශික නොවී දක්ෂිණාංශික වී ඇති බවත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය. මොවුන් අතීතයේදී වැඩ කිරීමට ඉඩ නුදුන් මෙන්ම, බලය ලැබුණු පසු වැඩක් කිරීමට නොදන්නා පිරිසක් බවට ද ඔහු චෝදනා කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් බිලියන 6.5ක සංචිතයක් තබා ගිය නිසා වාහන ආනයනයට අවස්ථාව ලැබුණ ද, එම වාහන සඳහා අංක තහඩුවක් නිකුත් කිරීමටවත් වත්මන් රජය අපොහොසත් වී ඇති බව හෙතෙම සඳහන් කළේය. එසේම 'උරුමය' වැඩසටහන 'හිමිකම' ලෙස නම වෙනස් කර ක්‍රියාත්මක කිරීම වැනි රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනැගූ වැඩපිළිවෙලවල් හුදෙක් නම් වෙනස් කරමින් ඉදිරියට ගෙන යන බවට ද ඔහු විවේචනය කළේය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි එක් විය යුතු බවට ගම් මට්ටමේ ජනතාවගෙන් ප්‍රබල ඉල්ලීමක් ඇති බවත්,
එසේ එක් නොවුණහොත් සමගි ජන බලවේගයේ පිරිස නැවත එක්සත් ජාතික පක්ෂය වෙත ගලා ඒම වැළැක්විය නොහැකි වනු ඇති බවත් නව නියෝජ්‍ය මහලේකම්වරයා අවධාරණය කළේය. මේ පිළිබඳව රටට ඇත්ත හෙළි කිරීම සඳහා රැස්වීම් දහසක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
වසර 75ක පක්ෂ ඉතිහාසය සහ එහි නායකයින් කළ සේවය පිළිබඳ නොදන්නා 1987 වසරෙන් පසුව උපන් තරුණ ප්‍රජාවට පක්ෂයේ වටිනාකම කියා දීමට පක්ෂය යළි නිර්මාණය කළ යුතු බව ද හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval