
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සෘජු සබඳතා පවත්වමින්, බාධාවකින් තොරව එම ජාවාරම පවත්වාගෙන යෑමට සහාය වූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදල් තොගයක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කරන මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන සේවාස්ථ පුහුණු ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටියදීය.
මොහු නීති විරෝධී ලෙස මුදල් උපයමින් ජාවාරම්කරුවන් ඇසුරු කර ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවට පොලිස් බුද්ධි අංශ වාර්තා මගින් සහ මූලික විමර්ශන මගින් තොරතුරු අනාවරණය වී තිබේ.
එම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ජාවාරම හරහා උපයා ගන්නා ලදැයි සැක කෙරෙන රුපියල් 717,790ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. තවද, ජාවාරම් කටයුතු සඳහාම භාවිත කළ සිම්පත් දෙකක් සහිත කුඩා ජංගම දුරකථනයක්, සිම්පතක් සහිත ස්මාට් ජංගම දුරකථනයක් මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු කටයුතු සඳහා යොදාගත් කුඩා වෑන් රථයක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙම සිද්ධිය අනාවරණය වී ඇත්තේ මීට පෙර තෙබුවන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ගල්පාත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය. කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එම විමර්ශන කටයුතු කළුතර දිසා අපරාධ කොට්ඨාසය වෙත පැවරීමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ විමර්ශනයකදී මෙම කරුණු හෙළිවී ඇත.
එහිදී සී.සී.ටී.වී දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සැකකරු මේ වන විට හෙරොයින් චෝදනාවකට බන්ධනාගාරගතව සිටින අයකු බවට තහවුරු වී තිබේ. එම සිරකරු බන්ධනාගාරයේ සිට භාවිත කරන දුරකථන අංක සහ දීර්ඝ කාලයක සිට ජාවාරම් සඳහා යොදාගත් සැකකටයුතු දුරකථන අංක විශ්ලේෂණය කිරීමේදී මෙම පොලිස් කොස්තාපල්වරයා කොටු කර ගැනීමට හැකි වී ඇත.
තිස් එක් හැවිරිදි වියේ පසුවන සැකකාර කොස්තාපල්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval