arrested-while-trying-to-sell-ravana-stone-which-is-said-to-have-the-blessing-of-king-ravana-for-300-million-rupees

 රාවණා රජුගේ අනුහස් ඇතැයි පවසමින් 'රාවණා ගල' නමින් හැඳින්වූ පාෂාණයක් රුපියල් කෝටි තුන්සීයක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ පිරිසක් මන්නාරම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරම, අඩම්පන් පාලෙයි පෙරුමාල් කට්ටු ප්‍රදේශයේ නිවසක් තුළදී මෙම ජාවාරම සිදුකිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරුවන් අට දෙනෙකු පසුගිය 20 වනදා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.



අදාළ පාෂාණය මිලදී ගැනීම සඳහා පැමිණ සිටි බව කියන ඉන්දීය ජාතිකයකු ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු බවට තොරතුරු අනාවරණය වී තිබේ. සැකකරුවන් විසින් අධික වටිනාකමක් නියම කර තිබූ මෙම පාෂාණය රාවණා රජුගේ හාස්කම් සහිත එකක් බවට ගැනුම්කරුට විශ්වාස කරවීමට උත්සාහ කර ඇති අතර ජාවාරම සඳහා යොදාගත් පාෂාණය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.




මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ද සිටින බව පොලිසිය පවසයි. ඉන්දීය ජාතිකයාට අමතරව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් කොළඹ හෙට්ටිවීදිය, කොළඹ 09, යාපනය කොඩිකාමම්, අඩම්පන් සහ හිඟුල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබූ පාෂාණයේ සැබෑ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පවතින්නේ ද යන්න විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා එය පුරාවිද්‍යා විශේෂඥයන් වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබේ.