gossiplanka image 2

8.00pm update
 පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. ඒ අනුව මෙම නාය යෑමෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබේ.
6.30pm update
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ අද (22) පෙරවරුවේ සිදුවූ හදිසි නායයෑමේ සිද්ධියෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට සැක කෙරේ. තවත් 7 දෙනෙකු යටවී සිටින බව ප්‍රකාශකයෙකු පවසා ඇත.



දුම්රිය මාර්ගයට පහළින් තිබූ විශාල ගල් පර්වතයක් සහ පස් කන්දක් අද පෙරවරු 8.45 ට පමණ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළෙඳසැලක් සහ නිවසක් මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

මෙම අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු මේ වන විට මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ රොටී අනුභව කිරීමට පැමිණි පිරිසක් සහ වෙළෙඳසැලේ හිමිකාරීත්වය දරන පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවට සැක කෙරෙන අතර, ඔවුන් මුදාගැනීම සඳහා පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගනිමින් දැවැන්ත මෙහෙයුමක් සිදු කරමින් පවතී.




නායයෑම සිදුවූ ස්ථානයේ කොන්ක්‍රීට් කණු අතර තවත් විශාල ගල් කුට්ටියක් අනාරක්ෂිත ලෙස රැඳී තිබීම හේතුවෙන්, එය ඕනෑම මොහොතක පහළට පතිත වීමේ අවදානමක් පවතින නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට (23) පස්වරුව දක්වා සම්පූර්ණයෙන් වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත.

මේ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින අතර, පවතින අවදානම් තත්ත්වය නිසා සිද්ධිය නැරඹීමට එම ස්ථානයට පැමිණීමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා ජනතාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මහනුවර දිස්ත්‍රික්කය නායයෑමේ අවදානම් සහිත කලාපයක් ලෙස නම් කර ඇති පසුබිමක මෙම අනතුර සිදුවී ඇති අතර, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අදාළ අංශ කටයුතු කරමින් සිටී.

කෙසේ වෙතත්, සඳුදා දිනයේ පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පහසුව වෙනුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් හෝ විවෘත කිරීමටත්, මාවනැල්ල ඩිපෝව මගින් බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂා කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

gossiplanka image 1



gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5



gossiplanka image 6