operations-begin-at-the-site-where-50-families-were-buried-by-a-landslide-in-alawathugoda-stories-told-by-local-residents

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ දරුණු ප්‍රතිඵලයක් ලෙස මහනුවර - මාතලේ මාර්ගයේ අලවතුගොඩ පොලිස් වසමට අයත් රඹුක්ඇළ ප්‍රදේශයේ අති විශාල නායයෑමක් සිදුව තිබේ. ඊයේ (29) අලුයම 1.00 ට පමණ අංකුඹුර සහ අලවතුගොඩ මාර්ගය ආශ්‍රිතව මෙම හදිසි ආපදාව වාර්තා වී ඇති අතර, නායයෑම හේතුවෙන් එම ගම්මානය සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත්ව ඇත.

මෙම ඛේදවාචකය හේතුවෙන් විශාල පිරිසක් අතුරුදන්ව සිටින අතර, සිදුවී ඇති දේපළ හා ජීවිත හානි පිළිබඳ නිශ්චිත දත්ත මෙතෙක් තහවුරු කර ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ.

අදාළ ගම්මානයේ පවුල් 800 ක් පමණ පදිංචිව සිට ඇති අතර, නායයෑම සෘජුවම බලපෑ ස්ථානයේ නිවාස 20 කට ආසන්න ප්‍රමාණයක් පිහිටා තිබූ බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. ඇතැම් නිවාසවල පවුල් කිහිපයක් එකට ජීවත් වූ බවට තොරතුරු ලැබී ඇති බැවින්, ආපදාවට ලක්වූ පවුල් සංඛ්‍යාව 30 ත් 40 ත් අතර අගයක් විය හැකි බවට ගම්වාසීන් සැක පළ කරන අතර, පවුල් 50 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවට ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් අනාවරණය කර ඇත. එක් පුද්ගලයෙකු මෙසේ පැවසීය.

  "අපි හොඳටම අවදියෙන් හිටියේ. වැස්සත් එක්ක වතුර පාරවල් ගලාගෙන එනකොට, ලොකු සද්දයක් එක්ක මම කෑගල්ල පැත්තට ටෝච් එක ගහලා බැලුවා විතරයි. උදේ තමයි අපි එතනට යනකොට සිද්ධිය හරියටම දැක්කේ. සාමාන්‍යයෙන් පවුල් තිහක්, හතළිහක් විතර මෙතන හිටියා කියලා තමයි කියන්නේ.




ගෙවල් තිබුණට වඩා, එක ගෙදරක පවුල් දෙක තුන හිටපු අවස්ථාත් තිබුණා. ඒ නිසා අඩුම තරමේ පවුල් තිහක්වත් ඇති කියලා හිතනවා. වැඩිපුරම හිටියේ මම අඳුරන කට්ටියමයි. පාන්දර වෙනකොට පස් කන්ද දෙතුන් පාරකට කඩන් වැටිලා තිබුණා. ගෙවල් හතක් අටක් යටවෙලා තිබුණේ. දැනට මළ සිරුරු හතර පස් දෙනෙකුගේ ගොඩ ගත්තා."

මේ වන විට මළ සිරුරු කිහිපයක් ගොඩගෙන ඇති නමුත්, අඛණ්ඩව පවතින වර්ෂාව සහ මාර්ග අවහිරතා හේතුවෙන් සහන කණ්ඩායම්වලට එම ස්ථානයට ළඟා වීම දැඩි අභියෝගයක් වී තිබේ. තවත් පුද්ගලයෙකු අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"අපිට මේක පුළුවන් තරම් හිතට ගන්න හදනවා ඒත් හිතාගන්න බෑ. එක්කෝ කරන්ට් එකක් නෑ. ෆෝන් කවර් කරන්න සිග්නල් නෑ, මොකුත්ම නෑ. මේ ගෙවල් පැත්තට එන පාරවල් දෙපැත්තම වැහිලා තියෙන්නේ. මිනිස්සුන්ට උදව්වක් ගන්න විදියකුත් නෑ. ඔක්කොම පන්සල්වලට, පල්ලිවලට සහ පාසල් වලට යොමු කරලා තියෙන්නේ.




දැනට ජීවිත හතළිහක් විතර හානි වෙලා තියෙනවා කියලයි කියන්නේ. හරියටම කීයක් ජීවිත නැති වෙලාද කියලා කියන්න කවුරුත් දන්නේ නෑ. මේක වෙලා තියෙන්නේ අලුත ගොඩ එන අංකුර පාර හරියෙන්, ලයිට් කණු හතක් අටක් විතර ඇතුලට වෙන්නයි."

මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම ප්‍රදේශයට නායයෑම් පිළිබඳ රතු නිවේදන (Red Notice) නිකුත් කර තිබුණ ද, පස් කන්ද කඩා වැටී ඇත්තේ එම අනතුරු අඟවා තිබූ සීමාවන්ද ඉක්මවා යමින් ප්‍රධාන මාර්ගයද අවහිර වන පරිද්දෙනි. 

 
"මීට කලින් මේ ප්‍රදේශයට අවවාද දීලා තිබුණේ, රෙඩ් නෝටිස් (Red Notice) එකක් දීලා තිබුණේ ඉන්න එපා කියලා. ඒ වුණාට පස් කන්ද කඩාගෙන ගියේ ඒ සීමාවත් පැනලා, ප්‍රධාන මාර්ගයත් වහගෙනයි. දැන් හරියටම කිලෝමීටරයක් විතර ප්‍රදේශයක් යටවෙලා තියෙන්නේ. අපිවත් අහුවෙයි කියලා බයක් තිබුණා."

විදුලිය ඇනහිටීම සහ දුරකථන සන්නිවේදන සබඳතා බිඳවැටීම හේතුවෙන් ආපදාවට ලක්වූවන්ගේ තත්ත්වය සොයා බැලීම තවදුරටත් ගැටලුවක් වී ඇති අතර, කිලෝමීටරයකට ආසන්න ප්‍රදේශයක් පස්වලින් යට වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. විපතට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන ලෙස පන්සල්, පල්ලි සහ පාසල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ට සහන සැලසීම සඳහා කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය බවට ජනතාව ඉල්ලීම් කරයි.


"දැනට මේ අයව ගොඩගන්න ලොකු උත්සාහයක් දරනවා. පස් යට වෙලා සතියක් විතර යනකම්වත් මේවා සුද්ද කරන්න වෙයි. කට්ටියට හරි අමාරුයි, එහා මෙහා යන්න බෑ. හමුදාව මැදිහත් වෙලා ලොකු උදව්වක් කරනවා. ගමේ සියලු දෙනාම සිංහල, මුස්ලිම්, දෙමළ බේද නැතුව ඔක්කොම එකතු වෙලා උදව් කරනවා.



හරියටම සංඛ්‍යාලේඛන දෙන්න බෑ. සාමාන්‍යයෙන් ගෙවල් හතළිහක් විතර තිබුණා කියලා කියනවා. දැනට බොඩි හතරක් අරන් ගිහිල්ලා තියෙනවා. ඉතුරු ටික ගන්න කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා තේරෙන්නෙ නෑ. හමුදාවෙන් යන්ත්‍ර සූත්‍ර දාලා වැඩේ කරගෙන යනවා. හිතාගන්න බෑ."

යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ මැදිහත්වී යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව ජාති ආගම් භේදයකින් තොරව විපතට පත්වූවන් බේරා ගැනීමට එකාවන්ව කටයුතු කරමින් සිටිති. කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණය හමුවේ පස් කඳු ඉවත් කරමින් අතුරුදන් වූවන් සොයා ගැනීමේ කටයුතු අවසන් කිරීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ. අලවතුගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, අවදානම් සහිත කලාපවල ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවට බලධාරීන් අනතුරු අඟවයි.

සිද්ධිය සිදුවූ ස්ථානයේ සිට ලබාගත් වීඩියෝ දර්ශන මෙතැනින් click here



gossiplanka image 1