npp-pradeshiya-sabha-chairman-dies-while-guarding-a-field-at-night

 ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රංගික ප්‍රගාත් ධර්මදාස මහතා සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. තිස් හතර හැවිරිදි වියේ පසු වූ සභාපතිවරයා පසුගිය විසි වැනිදා රාත්‍රියේ මෙලෙස හදිසි අසනීප තත්ත්වයට මුහුණ පා ඇත්තේ ගෝමරන්කඩවල, තිරප්පනේ ප්‍රදේශයේ පිහිටි සිය කුඹුරේ රැඳී සිටින අතරතුරදී බව ගෝමරන්කඩවල පොලිසිය තහවුරු කරයි.






සිද්ධිය වූ දින රාත්‍රියේ සභාපතිවරයා කුඹුරට ගොස් සිට ඇති අතර ඊට පසු දින එනම් විසි එක් වැනිදා අලුයම ඔහුගේ මව විසින් ලබා දුන් දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහු සිහිසුන්ව සිටියදී හමුවී ඇත. වහාම ඔහුව ගෝමරන්කඩවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද ඒ වන විටත් හෙතෙම මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සහ පොලිසිය සඳහන් කරයි. රංගික ධර්මදාස මහතා කලක පටන් හෘද රෝගී තත්ත්වයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.




රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියකු වන හෙතෙම උපාධිය ලැබීමෙන් පසුව වෘත්තීය මට්ටමින් ගොවිතැන් කටයුතුවල නිරතව සිටි අයෙකි. අවිවාහකයකු වූ ධර්මදාස මහතාට සහෝදරියන් දෙදෙනකු සිටින අතර ඔහු ගෝමරන්කඩවල තිරප්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගල්කඩවල කොට්ඨාසයට තරග වැදුණු ඔහු, එම මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්විය. මියගිය සභාපතිවරයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය මහ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.