beauty-artist-involved-in-foreign-job-scam-remanded

 නීතිඥවරියකගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින් කූඨ ලේඛන සකසා විදෙස් රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රූපලාවණ්‍ය ශිල්පිනියක සහ ව්‍යාපාරිකයෙකු දෙසැම්බර් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා පසුගිය 19 වැනිදා නියෝග කළේය.



මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන රූපලාවණ්‍ය ශිල්පිනියක සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. සැකකරුවන් හෝමාගම අධිකරණයේ නීතිඥවරියකගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් විවිධ පුද්ගලයන් සමඟ ද්විපාර්ශ්වික එකඟතා ගිවිසුම් සකස් කර ඇති බවත්,


එක් ලේඛනයක් සකස් කිරීම වෙනුවෙන් රුපියල් විසිපන් දහසක මුදලක් අය කර ගනිමින් මෙම ජාවාරම සිදු කර ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා විසින් අදාළ කූඨ ලේඛන සකස් කිරීම සඳහා ප්‍රධාන සැකකාර කාන්තාවට සහාය ලබා දී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. විදෙස් රටවලට යවන බව පවසා මෙම කාන්තාව විසින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මාතර අධිකරණයේ විභාග වෙමින් පවතින වෙනත් නඩුවක් සඳහා මෙම ප්‍රධාන සැකකාර කාන්තාව ලබන නොවැම්බර් 28 වැනි දින එම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන් වෙත වැඩිදුරටත් නියෝග කරන ලදී.




පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා, හොරණ සහකාර පොලිස් අධිකාරී බී.එස්. ඒකනායක සහ හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ධම්මික නවරත්න යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක නාකන්දල, සැරයන්වරුන් වන සංජීව (71385), අසංක (71389), පොලිස් කොස්තාපල් ගයාන් (86521) සහ කාන්තා පොලිස් කොස්තාපල් සේරසිංහ (9185) යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.