notice-issued-to-balangoda-kassapa-thero-for-evading-police-in-trincomalee-incident

 ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් භූමියක බුදු පිළිමයක් ස්ථාපිත කිරීමට උත්සාහ කිරීමේදී හටගත් නොසන්සුන්කාරී සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව ලබන දෙසැම්බර් මස 10 වැනි දිනට පෙර අධිකරණය හමුවට පැමිණෙන ලෙස දන්වා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම්. සන්සුදීන් මහතා විසින් අදාළ නොතීසි නිකුත් කරන ලදී.




ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජි.එස්.කේ. සමරසිංහ මහතා විසින් අධිකරණය වෙත 'බී' වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූයේ, පසුගිය 16 වැනි දින සිදුවූ මෙම සිද්ධියෙන් පසුව රෝහල්ගතව සිටි බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ බවයි. වෛද්‍ය නිර්දේශ මත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළ ද,


එලෙස ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

රටේ ජාතික සංහිඳියාවට බාධාවක් විය හැකි මට්ටමේ සංවේදී සිදුවීමක් වන මෙම සිද්ධිය පිළිබඳ සිදු කෙරෙන විමර්ශන සඳහා සහාය දැක්වීම ඕනෑම පුරවැසියෙකුගේ වගකීමක් බව පොලිසිය අධිකරණයට අවධාරණය කර ඇත. එබැවින් අදාළ විමර්ශන කටයුතු සඳහා සහාය නොදක්වන හිමිනමට එරෙහිව ක්‍රියාමාර්ග ගනිමින්, අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන්නැයි පොලිසිය අදාළ 'බී' වාර්තාව මගින් ඉල්ලා සිටි අතර එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.