මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීම පිණිස සවිකර තිබූ දිශා පුවරු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක බවත්, ඉදිරියේදී ලැබෙන අධිකරණ තීන්දුව මත පදනම්ව ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කර සිටියි.
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ අද දින පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය අතරතුරදී ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව උදෙසා පුරාවිද්‍යා ස්ථාන වෙත ළඟාවීමේ මාර්ග සලකුණු කරමින් මෙම නාම පුවරු සවිකිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන අතර මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පසුගිය 03 වනදා සිට මෙම පුවරු සවිකිරීමේ කටයුතු ආරම්භ කර තිබුණි.
කෙසේ වෙතත් සිය සභාවේ නිසි අනුමැතියකින් තොරව අදාළ පුවරු සවිකර ඇති බව පවසමින් වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් එම දිශා පුවරු ගලවා ඉවත් කිරීමට පසුගියදා පියවර ගෙන තිබූ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ද ඊයේ දිනයේදී ප්‍රකාශ කර සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval