
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ වට්ස්ඇප් (WhatsApp) ගිණුම වෙත අනවසරයෙන් ඇතුළු වී බැංකු ගිණුම්වල තිබූ මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන නයිජීරියානු ජාතිකයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළේය.
රුපියල් තුන්ලක්ෂ පනස් දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති මෙම ජාවාරම සම්බන්ධයෙන් රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ නයිජීරියානු ජාතිකයාට වංචාව සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන් බව කියන කනිෂ්කා සහ මාරියන් පෙරේරා යන අඹුසැමි යුවළකි.
රුපියල් විසිපන්දහසක මුදලකට ගිවිස ගනිමින් මොවුන් විසින් සිය අනන්‍යතාව යොදා ගනිමින් බැංකු ගිණුම් සහ ජංගම දුරකථන සිම්පත් සකසා නයිජීරියානු ජාතිකයා වෙත ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ දෙකක් සහ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් වශයෙන් අවස්ථා දෙකකදී මුදල් වංචා කර ඇත්තේ එම ගිණුම් හරහා බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම සැකකාර යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විදෙස් රටක සිට දෙමාපියන් එවන මුදල් ලබා ගැනීමට ගිණුමක් අවශ්‍ය බව පවසා නයිජීරියානු ජාතිකයා විසින් මෙම අහිංසක යුවළ නොමඟ යවා ඇති බවයි. කෙසේ වෙතත්, බැංකු ගිණුම් සකසා දීම වෙනුවෙන් ලබාගත් රුපියල් විසිපන්දහසක මුදලින් දෙවැනි සැකකරු හෙරොයින් පානය කර ඇති බව පොලිසිය අනාවරණය කළේය.
පළමු සැකකාරියගේ දුරකථන දත්ත සහ බැංකු නිලධාරීන්ගේ ප්‍රකාශ ද මේ වන විට විමර්ශන සඳහා යොදාගෙන ඇත.
පැමිණිල්ල සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නයිජීරියානු ජාතිකයා මීට පෙර ද මෙවැනි වංචා නඩු කිහිපයකටම නම් සඳහන් වී ඇති අයෙකු බව සිහිපත් කරමින් ඔහු අත්අඩංගුවට ගැනීම කඩිනම් කරන ලෙස දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු විමසා බැලීමෙන් අනතුරුව සැකකාර අඹුසැමි යුවළ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සෑම මසකම පළමු ඉරිදා දිනයේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය. සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන මාර්තු මස 20 වැනිදා අධිකරණයට වාර්තා කිරීමට ද නියම කෙරිණි.