මිහින්තලය, ඉලුප්පුකන්නිය ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ තම එකම පුතු බේරා ගැනීමට ගිය පියෙකු, දරුවාගේ ජීවිතය ආරක්ෂා කරමින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සංවේදී පුවතක් වාර්තා වේ. පසුගිය 17 වැනිදා සිදු වූ මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ
එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 51ක් වූ ජගත් නිශාන්ත නැමැති අයෙකි. නිවස අසල පාපැදියක් පදිමින් සෙල්ලම් කරමින් සිටි 11 හැවිරිදි දරුවා හදිසියේ බඹර ප්‍රහාරයකට ලක්ව වේදනාවෙන් කෑගසන ශබ්දය ඇසීමත් සමඟම පියා දරුවා බේරා ගැනීමට වහා එතැනට දිව ගොස් තිබේ.එම අවස්ථාවේදී බඹරුන්ගෙන් දරුවාට එල්ල වන ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා පියා විසින් තමන් ඇඳ සිටි කමිසය ගලවා දරුවාගේ සිරුර වසා දරුවා බදාගෙන ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත. පිය සෙනෙහස පෙරදැරිව දරුවා ආරක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී බඹරුන් විසින් පියාට දරුණු ලෙස පහර දී ඇති අතර, සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් වහාම පැමිණ බරපතළ තත්ත්වයේ සිටි පියා මිහින්තලය රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් කොතෙක් උත්සාහ දැරුවද, බඹර විෂ ශරීරගත වීම හේතුවෙන් පියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත. කෙසේ වෙතත්, පියාගේ කැපවීම නිසා දිවි ගලවා ගත් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. දරුවාගේ මව විදෙස් රටක සේවය කරන බැවින් නිවසේ රැඳී සිට ඇත්තේ පියා සහ පුතා පමණක් බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval