meteorological-forecast-issued-this-evening-29

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම අනාවැකියට අනුව "දිට්වා" (Ditwah) නම් සුළි කුණාටුව වර්තමානය වන විට යාපනයට කිලෝමීටර් 80 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පවතී. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර නොවැම්බර් 30 වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරය වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, හෙට දිනයේ සිට දිවයිනට බලපා ඇති වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයේ සැළකිය යුතු අඩුවීමක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.



කෙසේ වෙතත් අද රාත්‍රී කාලයේදී උතුර, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකිය. මීට අමතරව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.




සුළං තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී, උතුර, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි අතර එය පැයට කිලෝමීටර් 70-80 දක්වා වූ ප්‍රහාරාත්මක සුළං තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා තරමක තද සුළං ඇති විය හැකි බැවින්, තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හෙට (නොවැම්බර් 30) දිනය සඳහා නිකුත් කර ඇති ප්‍රධාන නගරවල කාලගුණ අනාවැකියට අනුව අනුරාධපුරය, යාපනය, මන්නාරම වැනි නගරවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවල ද වැසි වාර කිහිපයක් ඇති වේ. හෙට දිනයේ අඩුම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 14 නුවරඑළියෙන් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන අතර වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 30 ත්‍රිකුණාමලයෙන් වාර්තා වනු ඇත. කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ත් 23 ත් අතර අගයක් ගනු ඇති අතර එහි ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.