mental-condition-of-student-who-jumped-from-bambalapitiya-school-building-before-bio-paper-revealed

පසුගියදා (11) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට පැමිණ සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක ගොඩනැගිල්ලකින් ඇද වැටී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සිසුවිය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම සිසුවියට ඉහළම සාමාර්ථ සහිතව විභාගය සමත් වන ලෙස ඇයගේ මවුපියන් විසින් දැඩිව බල කරනු ලබන බව ඇය මෙම සිද්ධියට දින කිහිපයකට පෙර තමා ඉගෙනුම ලබන පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය හමුවේ හඬා වැටෙමින් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.




විභාගය ආරම්භ වීමට ආසන්නව තිබියදී නියෝජ්‍ය විදුහල්පතිනිය වෙත සිදු කළ මෙම හැඟීම්බර ප්‍රකාශය පිළිබඳව විදුහල්පතිනියගේ විශේෂ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව ඇය වහාම සිසුවියගේ මවුපියන් කැඳවා මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. විදුහල්පතිනියගේ එම දැනුවත් කිරීමෙන් අනතුරුව මවුපියන් විසින් අදාළ සිසුවිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය වසරේදී ද අ.පො.ස. උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට මෙම සිසුවිය නියමිතව සිට ඇති නමුත්, ඇය එම අවස්ථාවේදී විභාගයට පෙනී සිට නොමැති බව අනාවරණය වී ඇත. පාසල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් ඇද වැටීම නිසා ඇයගේ දෙපාවලට හානි සිදුවී ඇති අතර, හාස්කමකින් මෙන් ඇයගේ ජීවිතය බේරී ඇති බවත්, ඇය මේ වන විට කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි.