
ආරක්ෂක හේතූන් මත පකිස්ථාන තරග සංචාරය අතරමග නිමා කර ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණීමට සූදානම් බවට නොවැම්බර් 12 වැනිදා මාධ්‍ය වාර්තා පළ වුවද, සැලසුම් කළ පරිදි තරගාවලිය අඛණ්ඩව පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා බීබීසී සිංහල සේවයට පවසා ඇත්තේ
පවතින තත්ත්වය පිළිබඳව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පකිස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු මුල් කරගනිමින් තමන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් නොවැම්බර් 12 වැනිදා උදෑසන කළමනාකාරීත්වයට දැනුම් දී තිබිණි. මෙම ඉල්ලීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය හා එරට ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කොට ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ සහතිකයක් ලබා ගෙන ඇත.
ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති වීමට ඉඩ නොදෙන බවට තහවුරු කර ගැනීමෙන් පසුව, නියමිත පරිදි තරග සංචාරය කරගෙන යන ලෙස ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
කෙසේ වෙතත්, මෙම උපදෙස් නොතකා යම් ක්‍රීඩකයෙකු හෝ නිලධාරියෙකු තරග සංචාරයෙන් ඉවත්ව දිවයිනට පැමිණියහොත්, තරගාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් වහාම ආදේශක ක්‍රීඩකයින් පකිස්ථානයට යැවීමට කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි.
එසේම, ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා නැවත පැමිණෙන අයගේ එම ක්‍රියාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව දැඩි තීරණ ගන්නා බව ද නිවේදනය කර ඇත.
මේ අතර පකිස්ථානයේ රැඳී සිටින ජාත්‍යන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසා ඇත්තේ තමන්ට හා කණ්ඩායමට ලබා දී ඇති ඉහළ ආරක්ෂාව පිළිබඳව පෞද්ගලිකව සෑහීමකට පත්වන බවයි. හෝටලයේ සිට ක්‍රීඩාංගණය දක්වා ගමන් කිරීමේදී මාර්ගයේ වාහන නැවැත්වීමටවත් ඉඩ නොදී, ඉතා ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සපයා ඇති බව ඔහු පෙන්වා දෙයි. 1996 ලෝක කුසලාන සමයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය ගැන බිය වී වෙනත් රටවල් තරග වර්ජනය කරද්දී, පකිස්ථානය සහ ඉන්දියාව එක්ව මෙරටට කණ්ඩායමක් එවා සහය පළ කළ අතීතය ද ඔහු මෙහිදී සිහිපත් කළේය. ඉස්ලාමාබාද්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් හදිසියේ තරගාවලිය අත්හැරීම දෙරටේ දීර්ඝකාලීන මිතුදමට බාධාවක් විය හැකි බව ද ඔහුගේ අදහසයි.
ශ්‍රී ලංකාව ගත් මෙම තීරණය අගය කරමින් පකිස්ථාන ක්‍රිකට් සභාපති මොෂින් නක්වි ස්තූතිය පළ කර ඇති අතර, එය ක්‍රීඩාශීලීත්වයේ සහ සහයෝගීතාවයේ ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දී තිබේ. කෙසේ වෙතත් පවතින තත්ත්වය මත තරග කාලසටහනේ වෙනසක් සිදු කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර නොවැම්බර් 13 වැනිදා (අද) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය නොවැම්බර් 14 වැනිදා (හෙට) දක්වා කල් දමා තිබේ. තෙවන තරගය සැලසුම් කළ පරිදි 16 වැනිදා පැවැත්වෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval