
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (3) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබේ.
ප්‍රශ්නසහගත ඖෂධ, රසායනික ද්‍රව්‍ය සහ උපකරණ මිලදී ගැනීම් හේතුවෙන් රජයට සිදුව ඇති දැවැන්ත මූල්‍ය පාඩුවක් සම්බන්ධයෙන් වූ විගණන වාර්තාවක් පදනම් කරගනිමින්, ඒ පිළිබඳ විමර්ශනයක් ඉල්ලා වෛද්‍ය සංජීව මහතා විසින් සිදු කළ පැමිණිල්ලකට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.
වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් කොමිසම හමුවේ ලේඛන ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ, රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් වෛද්‍ය සැපයුම් ඒකකයේ වාර්ෂික ඇස්තමේන්තු ඉක්මවා යමින් ඖෂධ මිලදී ගෙන ඇති බවයි. එසේම, දිගින් දිගටම ගැටලුකාරී සමාගම් වෙත ප්‍රසම්පාදන අවස්ථා ලබාදීම, ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ මිලදී ගැනීම හා ගබඩා කිරීම මෙන්ම, කෙටි කලකින් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීම තුළින් රජයට මූල්‍යමය අලාභයක් සිදුව ඇති බවට විගණන වාර්තා මගින් තහවුරු වන බවද ඔහු සඳහන් කර තිබේ.
පසුගිය කාලය තුළ ආනයනය කළ හා දේශීයව නිෂ්පාදිත ඖෂධ වර්ග 300 කට අධික ප්‍රමාණයක් ගුණාත්මක බවින් අඩු බවට වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත මගින් තහවුරු වී ඇතැයි ජාතික විගණන වාර්තා උපුටා දක්වයි. එම ඖෂධ තොගවල වටිනාකම රුපියල් බිලියන 42 ක් ඉක්මවන අතර, ඊට අමතරව තවත් රුපියල් බිලියන 13 කට අධික වටිනාකමකින් යුතු ගුණාත්මක බවින් අඩු ඖෂධ තොග වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවල පවතින බවටද විගණනයෙන් හෙළි වී ඇත.
තවද, කොළඹ ජාතික රෝහලේ රසායනාගාරයට අවශ්‍ය ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේදී ද අක්‍රමිකතාවක් සිදුව ඇති බව වාර්තා වේ. වෛද්‍ය සැපයුම් ඒකකයේ නිසි අනුමැතියකින් තොරව රුපියල් මිලියන 2500 කට (බිලියන 2.5) අධික වටිනාකමකින් යුතු ප්‍රතික්‍රීයක මිලදී ගෙන ඇත. එසේ මිලදී ගත් තොග අතුරින්, රුපියල් මිලියන 10 ත් 50 ත් අතර වටිනාකමකින් යුතු ප්‍රතික්‍රීයක, මිලදී ගන්නා අවස්ථාව වන විටත් කල් ඉකුත් වී හෝ කල් ඉකුත් වීමට ආසන්නව පැවති බවට විගණකාධිපතිවරයා ලේඛන මගින් තහවුරු කර ඇති බවද සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval