අද (04) දින උදෑසන අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේදී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. වෙඩි වැදීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා වහාම බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් මරණයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන 'කරන්දෙණියේ සුද්දා' නැමැත්තාගේ මස්සිනා (වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා) බවට පොලීසිය විසින් තොරතුරු තහවුරු කරගෙන ඇත. අද උදෑසන 10.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීම, මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදුකරන්නට ඇති බවට සැක කෙරේ.
ඔවුන් මියගිය පුද්ගලයා ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පළා ගොස් තිබිණි. මේ අතර, සැකකරුවන් පැමිණි බවට විශ්වාස කෙරෙන මෝටර් රථය පොලීසිය විසින් සොයාගෙන ඇත. එම මෝටර් රථය කරන්දෙණිය, එගොඩවෙල මංසන්ධි ප්‍රදේශයේ දමා ගොස් තිබියදී මෙලෙස හමුවී තිබේ. අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval