පසුගිය කාලයේ මන්නාරමේ සුළං ව්‍යාපෘති ගැන තිබුනේ තරගයකි. අදානි එක් පසෙකින්ද දේශීය සමාගම් තව පසෙකින්ද මේ ගැන කරට කර සටනක සිටි අතර ජනපති පවා කථා කරේ අඩු ලන්සුව වැඩි වාසිය සලකා තීරණ ගන්නා කතාවකි. දැන් වාර්තා වන්නේ සියලු මන්නාරම් සුළං ව්‍යාපෘති අත්හිටුවා ඇති බවකි. පරිසරවේදීන් පෙන්වා දුන් විද්‍යාත්මක හේතු හා ශ්‍රී ලංකාව බැඳී සිටින 2015 දෙසැම්බර් 12 වන දින රටවල් 196ක් විසින් සම්මත කරගත් පැරිස් ගිවිසුමේ නීති උල්ලංඝනය කරන්නට බැරිවීම මෙම තීරණයට බලපා තිබෙන බව රජය කියයි.
මන්නාරම් දූපතේ අලුතින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුළං විදුලි ව්‍යාපෘති වහාම අත්හිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමි වී තිබෙන බව අද දින කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරිණි.
දැනටමත් මෙම ව්‍යාපෘතියේ මූලික කොටස අරඹා තිබියදී මෙම තීරණය ගැනීම නිසා 'පරිසර හේතුව' ඇත්තම සාධකයදැයි ප්‍රශ්නයක් නැගේ. තම්බපවනි සුළං විදුලි බලාගාරය 2021 වසරේ සිට මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින්නකි.
නව ව්‍යාපෘති අදානිට නොදීම ගැන ඉන්දීය අගමැති මෝදි කලබලවී සිටියේය.
විශේෂයෙන්ම සංක්‍රමණික පක්ෂීන්ගේ ජීවිත හානිය මෙම තීරණය කෙරෙහි බලපා ඇතැයිද ප්‍රදේශයේ ජනතාව විසින් මතු කරනු ලැබූ පාරිසරික සහ සමාජයීය ගැටලුද පදනම් කරගනිමින්, මන්නාරමේ ජනතාවගේ කැමැත්තකින් තොරව එම දූපත තුළ තවදුරටත් සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ බලධාරීන්ට මීට පෙර දැනුම් දී තිබුනේ යයි අද දින ප්‍රකාශයට පත් කෙරිණි.
ජනාධිපතිවරයාගේ එම නියෝගය පිළිබඳව බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවත්, ඊට අදාළව කටයුතු කිරීම සඳහා මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇතැයිද මාධ්‍ය හමුවේදී කියැවිණි.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ආසියානු සංවර්ධන බැංකුව එක්ව මන්නාරම් දූපතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සුළං විදුලි ව්‍යාපෘති සැලසුම්, හුදෙක් බලශක්ති උත්පාදනය පමණක් ඉලක්ක කර සකස් කර ඇති නමුත් සැලසුම් සකස් කිරීමේදී මන්නාරම් දූපතේ වෙසෙන ජනතාවගේ අනාගත පැවැත්ම, එහි භූමි භාවිත රටාවන් හෝ සුවිශේෂී ජෛව ප්‍රජාවගේ පැවැත්ම පිළිබඳව කිසිදු සැලකිල්ලක් යොමු කර නොමැති වීම හේතුවෙන්, එම ජනතාව සහ පරිසරය බරපතල අවදානමකට ලක්ව ඇති බව පරිසර වාර්තා පසුගියදා නිකුත් විය.
මන්නාරම "හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක්" බවට පත්කිරීමේ පර්යේෂණ වාර්තා සකස් කිරීමේදී, ආසියානු සංවර්ධන බැංකුව සිය ප්‍රමුඛ අරමුණු ලෙස සලකා ඇත්තේ ණය ආධාර සැපයීම සහ සමාගම් සඳහා ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම බව පෙනී යන බවත් මෙම ක්‍රියාවලියේදී 'සාධාරණ සංක්‍රාන්තිය' (Just Transition) නැමැති මූලධර්මය සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබීම බරපතල අඩුපාඩුවක් ලෙසත් විචාරකයෝ දී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම බලශක්ති ව්‍යාපෘති මගින් දූපතේ ධීවර ප්‍රජාවට, කෘෂිකාර්මික ජනතාවට, ඔවුන්ගේ වගාබිම්වලට සහ ස්වභාවික පරිසර පද්ධතිවලට සිදුවන බලපෑම් පිළිබඳව මෙන්ම, මන්නාරමේ ජෛව විවිධත්වය හා බැඳුණු ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳවද අවධානය යොමු කර නොමැත.
සුනිත්‍ය බලශක්තිය වෙත පරිවර්තනය වීමේදී අනුගමනය කළ යුතු 'සාධාරණ සංක්‍රාන්තිය' යනු, එම ක්‍රියාවලිය නිසා ආර්ථිකව බලපෑමට ලක්වන, අවතැන් වන හෝ අයිතීන් අහිමි වන ප්‍රජාවන්ගේ සාධාරණත්වය සහතික කිරීමයි. අසමානතා සහ සෘණාත්මක බලපෑම් වැළැක්වීම මෙහි අරමුණ වන අතර, තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑමට ලක්වන පාර්ශ්වයන් සෘජුව දායක කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම සංකල්පය අන්තර්ගත වන අතර, 2016 සැප්තැම්බර් 21 දින එම ගිවිසුම අපරානුමත කළ රටක් ලෙස ශ්‍රී ලංකාව මෙම මූලධර්මය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නීත්‍යානුකූලව බැඳී සිටී.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන් ගේ 26 වන සමුළුවේදී (COP26), ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහුපාර්ශ්වික සංවර්ධන බැංකු, දේශගුණික විපර්යාස අවම කිරීමේදී මෙම 'සාධාරණ සංක්‍රාන්ති' මූලධර්මය ආරක්ෂා කිරීමට පොරොන්දු වී ඇත. එනමුත්, ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලිබල මණ්ඩලය මෙන්ම, මන්නාරම් ව්‍යාපෘතිය සඳහා ණය සපයන ආසියානු සංවර්ධන බැංකුවද මෙම ජාත්‍යන්තර පොරොන්දුව සහ මූලධර්මය සැලකිල්ලට ගෙන නොමැති බව පෙනී යයි. මෙම තත්ත්වය හේතුවෙන් මන්නාරම් දූපතේ වැසියන් මේ වන විටත් බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් සිටි බව වාර්තා විය.
දිවයින පුරා පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ති සැලැස්ම යටතේ, ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගත් මන්නාරම් දූපත කේන්ද්‍ර කරගනිමින් සුළං විදුලි ව්‍යාපෘති තුනක් සැලසුම් කර තිබුණි.
ඉන් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරය 2021 වසරේ සිට මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, 2025 දෙසැම්බර් මස ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙගාවොට් 20ක 'Windscape Mannar (Pvt) Ltd' ව්‍යාපෘතිය සහ 2026 දෙසැම්බර් මස ඇරඹීමට නියමිතව තිබූ මෙගාවොට් 50ක 'Hayleys Fentons' ව්‍යාපෘතිය මෙම නව තීරණය අනුව අත්හිටුවෙනු ඇත.
මේ ගැන අද දින කැබිනට් තීරණ දැනකුම් දීමේදී නිකුත් කළ රජයේ නිවේදනය පහත පරිදිය
--- ඉදිරියේදී මන්නාරම දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම් ---
දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් (03) සැලසුම් කර ඇත. එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබ තිබේ. අනෙක් ව්‍යාපෘති වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ Hayleys Fentons මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දුපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක
නොකරන ලෙස ගරු ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට දැනුම්දී ඇති බව බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

Comments
Post a Comment
Your comment will be visible after approval