
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කළ ලිපියක් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා අදාළ වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය අද දින නියෝග කර තිබේ.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර සහ එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.එහිදී නඩු කටයුත්තට අදාළව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේදැයි සභාපති විනිසුරුවරයා විමසා සිටි අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයට දන්වා සිටියේ එවැනි නියෝගයක් ලබා ගැනීමට තම පාර්ශවය බලාපොරොත්තු වන බවයි. ඒ අනුව වගඋත්තරකරුවන් වෙත නොතීසි යවා ඔවුන් අධිකරණය හමුවට කැඳවීමෙන් අනතුරුව කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයට උපදෙස් ලබා දෙන ලදී.
මෙහිදී කරුණු දැක්වූ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා අවධාරණය කළේ අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ ලිපිය ඉවත් කරගෙන ඇති බවට රජය විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කර තිබූ බවයි. රජය විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණද මෙම ගැටලුව සම්බන්ධයෙන් තම සේවාදායකයින් අධිකරණයෙන් නිශ්චිත නියෝගයක් අපේක්ෂා කරන බව නීතිඥ විතාරණ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේය. සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීමට වගඋත්තරකරුවන් දරන උත්සාහය මෙරට නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පෙත්සම්කරුවන් විසින් අධිකරණයට පවසා ඇත්තේ සමරිසි සංචාරක කර්මාන්තය මෙරට ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් අදාළ වගඋත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. මෙම කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ පෙබරවාරි මස 10 වනදා යළි කැඳවීමට තීරණය කළ අතර එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval