budget-passed-by-118-votes-estate-tamil-leaders-support-the-government

 විපක්ෂය නියෝජනය කරන වතුකරයේ ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් සහ ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන්ගේ සහාය ද සහිතව 2026 මුදල් වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කිරීමට විපක්ෂය දැරූ ස්ථාවරයට විරෝධය පළ කරමින් මෙම මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුවේ අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂ සිදුවීමක් ලෙස කැපී පෙනුණි. කෙසේ වෙතත් උතුරු දමිළ ජනතාව නියෝජනය කරන ද්‍රවිඩ ජාතික සන්දානය ඡන්දය දීමෙන් වැළකී සිටීමද කැපී පෙනුනි.




අද පස්වරුවේ පැවති මෙම ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 160 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 42 ක් පමණි.  මන්ත්‍රීවරු 8 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. ඒ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වෙති. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරු,ජීජී පොන්නම්බලම්,  රාමනාදන් අර්චුනා, රිෂාඩ් බදියුදීන් සර්ව ජන බලය නායක දිලිත් ජයවීර  යන මහත්වරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
 අද පෙරවරු 9.30 ට අයවැය විවාදය ආරම්භ වූ අතර පස්වරු 6.00 ට විවාදය අවසන් වීමෙන් අනතුරුව මෙලෙස ඡන්ද විමසීම සිදු කෙරුණි.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 7 වනදා මෙම විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අද දිනයේ දෙවන වර කියවීම සම්මත වීමෙන් පසුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන දෙසැම්බර් මස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.