kotahena-murder-is-the-work-of-the-tamil-underworld

 කොටහේන ප්‍රදේශයේදී ඉකුත් සිකුරාදා (07) රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ ක්‍රියාත්මක 'ආවා' කල්ලියේ සාමාජිකයන් සිව්දෙනෙකු ඇතුළු හයදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩුකන්නාගේ ප්‍රධාන ගෝලයකු ලෙස සැලකෙන එල්.ඩබ්ලිව්.ඒ. බුද්ධික ප්‍රනාන්දු (42) නැමැත්තා මෙසේ ඝාතනයට ලක්විය. වත්තල සහ යාපනය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර ප්‍රධාන වෙඩික්කරු බව කියන තරුණයා,

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි රූමත් තරුණියක් සහ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ස්වාධීන කණ්ඩායමකින් තරඟ කළ අයෙකු ද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාවට පළාගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පලනි රිමෝෂන් සහ එහි සැඟව සිටින 'ආවා' කල්ලි නායක ප්‍රදීපන් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම ඝාතනය සැලසුම් කර ඇත.


මීට වසර කිහිපයකට පෙර කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ 'කුඩු සෙල්වි' නැමැත්තියගේ පුත්‍රයා වන රිමෝෂන්, සිය මවගේ ඝාතනයට පළිගැනීමක් ලෙස පූකුඩුකන්නාගේ පාර්ශවයේ අයෙකු මෙසේ ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අදාළ ඝාතන කොන්ත්‍රාත්තුව භාරගැනීමෙන් පසු ප්‍රදීපන් නැමැත්තා විසින් එය ක්‍රියාත්මක කිරීම සඳහා 'ආවා' කල්ලියට සම්බන්ධ සිව්දෙනෙකු යොදවා ඇති බව පැවසේ.

ඝාතනයට ලක්වූ බුද්ධික නැමැත්තා කොටහේන මහල් නිවාස සංකීර්ණයේ 16 වැනි පටුමග ඔස්සේ ජංගම දුරකථනය නරඹමින් ගමන් කරමින් සිටියදී, මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුට වෙඩි තබා එම රථයෙන්ම පළාගොස් තිබිණි. සිද්ධියෙන් පසු වත්තල ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස ගමන් කළ මෝටර් රථයක් ලුහුබැඳ ගිය වත්තල පොලිසියේ කොස්තාපල්වරයෙකු විසින් එහි සිටි සැකකරුවෙකු අල්ලාගෙන ඇති අතර,


ඔහු සතුව තිබී අංක මකා දැමූ පිස්තෝලයක් සහ උණ්ඩ රහිත මැගසින් එකක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් යාපනය කයිතඩි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අකිල රාජ් නැමැත්තාගෙන් ලද තොරතුරු මත මාබෝලේ මුස්ලිම් පල්ලිය අසල සිටි රජි බර්න් (32) නැමැත්තා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන්ගෙන් හෙළිකරගත් තොරතුරු මත යාපනයට පළාගොස් සිටි ප්‍රධාන වෙඩික්කරු, ඔහුගේ සහායකයා සහ අදාළ තරුණිය අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්විය. මෙම සැකකරුවන් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට සූදානමින් සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඝාතනය සඳහා යොදාගත් මෝටර් රථය කුලී පදනම මත ලබාදුන් බව කියන හිටපු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයා ද පොලිස් අත්අඩංගුවේ පසුවේ. පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.

CCTV වීඩියෝව මෙතැනින් click here

gossiplanka image 1