30000-new-taxpayers-due-to-the-budget

 එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් කෝටි 6 සිට 3.6 දක්වා පහත හෙළීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ නව බදු ලිපිගොනු 25,000 ත් 30,000 ත් අතර ප්‍රමාණයක් අලුතින් විවෘත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම යෝජනාව ලබන වසරේ අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ හරහා රුපියල් කෝටි 15,000 ක අමතර ආදායමක් උපයා ගැනීමට රජය ඉලක්ක කරයි.



දිනකට රුපියල් ලක්ෂයකට වැඩි පිරිවැටුමක් සහිත කුඩා වෙළඳසැල් ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බොහෝමයක් මෙම නව බදු ප්‍රතිපත්තිය යටතේ බදු දැලට හසුවන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ රජය මෙම බදු බර පාරිභෝගිකයා මත පැටවීමට අපේක්ෂා නොකළද, ප්‍රායෝගිකව එය වැළැක්විය නොහැකි වනු ඇති බවයි.




කෙසේ වෙතත්, මෙම වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ රුපියල් බිලියන 2,085 ක ආදායම් ඉලක්කයෙන් සියයට 88 ක් මේ වන විටත් සපුරාගෙන ඇති අතර වසර අවසානයේ එය ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. නව බදු සංශෝධනය මඟින් ව්‍යාපාර ලියාපදිංචි කිරීම් දෙකක් පවත්වා ගනිමින් බදු පැහැර හරින සමාගම් සහ වාහන ආනයනකරුවන් බදු දැලට හසුකර ගැනීමට හැකි වනු ඇතැයි දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටී. චන්දන මහතා සඳහන් කළේය. එහෙත්, බොහෝ සිල්ලර වෙළෙන්දන් දැනටමත් වැට් බදු ගෙවූ භාණ්ඩ මිලදී ගන්නා බැවින් මෙම සීමාව පහත හෙළීම අසාධාරණ බව හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්.එම්.එම්. මිෆ්ලි මහතා පෙන්වා දෙයි.