
ලබන වසරේ සිට හයවන ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය පිටුපස මෙරට විනාශ කිරීමට මාන බලන ජාත්‍යන්තර සංවිධාන සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරයි. අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට මූල්‍ය අනුග්‍රහය දක්වනු ලබන්නේ මෙම විදේශීය සංවිධාන විසින් බවට ද අගරදගුරු හිමිපාණෝ චෝදනා කළහ.
වයස අවුරුදු 11 ත් 12 ත් අතර වයස්වල පසුවන,
සමාජය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති ළාබාල දරුවන් වැරදි මාවතකට යොමු කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කරන්නේ නම් එය දැඩිව හෙළා දකින බව එතුමන් සඳහන් කළේය. විශේෂයෙන්ම කුඩා දරුවන්ට සමලිංගික සබඳතා සහ උපත් පාලන ක්‍රම පිළිබඳව දැනුම්වත් කිරීමට මෙම නව පාඨමාලාව හරහා සූදානම් වන බවත්, මෙවැනි කරුණු දරුවන්ට සුදුසු වයසේදී කියා දීමේ වගකීම පැවරෙන්නේ මව්පියන්ට බවත් කාදිනල් හිමියෝ පෙන්වා දුන්හ.
අඹේපුස්ස ශුද්ධ වූ ස්කේපන් මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍යයට එක්වෙමින් මෙම අදහස් පළ කළ අගරදගුරුතුමන් වැඩිදුරටත් කියා සිටියේ රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ කරන මෙවැනි අශීලාචාර ක්‍රියා නවතා දැමීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවයි. නිලධාරීන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ නොදී මෙම උත්සාහයන් පරාජය කිරීමට මව්පියන් ද පෙරට පැමිණ හඬ නැගිය යුතු බව එතුමන් එහිදී ඉල්ලා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval