ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාව අතර නොමිලයේ බෙදා දීම සඳහා ඉන්දීය ව්‍යාපාරිකයෙකු විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 130ක් අඩංගු කන්ටේනර් පහක්, මාස හතරකට ආසන්න කාලයක් තිස්සේ රේගුව භාරයේ රඳවා තබා ගැනීම හේතුවෙන් ඒවා නැවත ප්‍රතිඅපනයනය කිරීමට අවසර දෙන ලෙස ආනයනකරුවන් ඉල්ලා සිටියි.
අදාළ සහල් තොගය ආනයනය කළ සංවිධානය විසින් ඊයේ (24) දින රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ දීර්ඝ කාලයක් ගබඩා කර තිබීම හේතුවෙන් මෙම සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇති බවයි. එබැවින් යම් දඩ මුදලකට යටත්ව හෝ මෙම සහල් තොගය නිදහස් කරන ලෙසත්, එසේ කිරීමට නොහැකි නම් ඒවා ආපසු ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කරන ලෙසත් එම සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා රේගුවෙන් ඉල්ලා ඇත.පසුගිය අගෝස්තු මස 07 වැනිදා මෙම සහල් තොගය මෙරටට ළඟා වූ අතර, අගෝස්තු 10 වැනිදා සිට එය නිදහස් කරගැනීම සඳහා අදාළ අංශ වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. මෙම සහල් තොගය ජනතාවට නොමිලයේ ලබා දෙන පුණ්‍ය කටයුත්තක් බැවින් ඊට අදාළ තීරු බදු සහනය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා, කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යවරුන් මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළ බව එම ලිපියේ සඳහන් වේ. කෙසේ වෙතත්, රේගු දෙපාර්තමේන්තුව විසින් රේගු පනතේ 135 වැනි වගන්තිය යටතේ අදාළ කන්ටේනර් පහ අත්පත් කරගෙන ඇති බව ලිඛිතව දැනුම් දී ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.
කීරි පොන්නි සම්බා වර්ගයට අයත් මෙම සහල් තොගය සඳහා අදාළ ඉන්දීය ව්‍යාපාරිකයා විසින් නැව් ගාස්තු පවා ගෙවා මෙරටට එවා තිබුණද, මෙම සහල් කිලෝවක් සඳහා රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු බව වෙළෙඳ අමාත්‍යාංශය විසින් දන්වා ඇත. පවතින මෙම නීතිමය සහ බදු ගැටලු හේතුවෙන් ජනතාවට සහනයක් ලෙස ලැබුණු මෙම සහල් තොගය මේ වන විට වරාය තුළ සිරවී විනාශ වීමේ තත්ත්වයකට පත්ව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval