jeevans-wedding-to-irish-medical-student-seethayi-in-colombo-on-friday

 ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගලෝත්සවය පසුගියදා ඉන්දියාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. එහිදී ඔහු යුග දිවියට එළැඹියේ දකුණු ඉන්දීය සම්භවයක් සහිත තරුණියක වන සීතෛයි ශ්‍රී නාචියාර් රාමේෂ්වරන් මෙනවිය සමඟයි.



මෙම විවාහ මංගල්‍යය නොවැම්බර් මස 23 වන දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් සිවගංගෙයි දිස්ත්‍රික්කයේ, තිරුප්පතූර් හි පිහිටි ආරුමුගම් පිල්ලේ සීතාඅම්මාල් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රභූ පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

2002 වසරේදී ඉන්දියාවේ කාරෙක්කුඩි ජෝන් රෝහලේදී උපත ලබා ඇති මනාලිය වන සීතෛයි ශ්‍රී නාචියාර් රාමේෂ්වරන්, දකුණු ඉන්දියාවේ කීර්තිමත් ව්‍යාපාරික පවුලක සාමාජිකාවකි.


එන්. රාමේෂ්වරන් සහ ප්‍රියා රාමේෂ්වරන් යුවලගේ දියණිය වන ඇය, වර්තමානය වන විට වෛද්‍යවරියක් වීමේ අපේක්ෂාවෙන් අයර්ලන්තයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය හදාරමින් සිටින්නියකි.

ඇයගේ මුත්තණුවන් වන දිවංගත එන්.ටී.එස්. ආරුමුගම් පිල්ලෙයි මහතා ඉංග්‍රීසි යටත් විජිත සමයේදී ඉන්දියාවේ සිට මැලේසියාවට සංක්‍රමණය වී සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස නමක් දිනාගත් අයෙකි. මැලේසියාවේ දේපළ වෙළඳාම මෙන්ම පොල් සහ රබර් වතු ක්ෂේත්‍රයේත්, ඉන්දියාවේ තේ වතු ක්ෂේත්‍රයේත් ආයෝජනය කළ ඔහු, 1965 වසරේදී තම උපන් ගම වූ තිරුප්පුත්තූර් හි ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කළ අතර, එය වර්තමානයේ ආරුමුගම් පිල්ලේ සීතාඅම්මාල් විශ්වවිද්‍යාලය දක්වා වර්ධනය වී තිබේ. සීතෛයිගේ පියා වන එන්. රාමේෂ්වරන් මහතා මේ වන විට එම ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

තොණ්ඩමන් සහ රාමේෂ්වරන් පවුල් දෙක අතර පවතින මිත්‍රත්වය පරම්පරා ගණනාවක් ඈතට දිව යන්නකි. විශේෂයෙන්ම ජීවන් තොණ්ඩමන්ගේ මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතා සහ මනාලියගේ මුත්තණුවන් වූ ආරුමුගම් පිල්ලෙයි මහතා අතර පැවති දැඩි මිතුදම ඊට පදනම වී ඇත. එමෙන්ම මනාල යුවලගේ පියවරුන් වන ආරුමුගම් තොණ්ඩමන් සහ එන්. රාමේෂ්වරන් යන දෙපළ ද තමිල්නාඩුවේ පිහිටි මොන්ට්ෆෝර්ට් පිරිමි පාසලේ එකම පන්තියේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ සමීප මිතුරන් වීම දෛවෝපගත සිදුවීමකි.

මෙම දීර්ඝකාලීන පවුල් සබඳතා සහ පියවරුන් අතර පැවති මිත්‍රත්වය හේතුවෙන් ජීවන් සහ සීතෛයි අතර විවාහය යෝජිත විවාහයක් ලෙස සිදුකර ඇත. නව යුවලගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් සංවිධානය කෙරෙන විශේෂ උත්සවයක් එළඹෙන නොවැම්බර් 28 වන සිකුරාදා දින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම උත්සවය අතිශය උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෑත කාලීන දේශපාලනයේ යෙදෙන හා හිටපු දේශපාලන නායකයින් සියලු දෙනා එයට එක්වන්නට නියමිත බවද පැවසේ. 23 වැනිදා පැවති විවාහ උත්සවයේ ඡායාරූප එකතුව පහතින්


all photos click here