kaduwela-malabe-athurugiriya-battaramulla-low-lying-areas-advised-to-evacuate-immediately-ambatale-embankment-also-overflows

 කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ගඟ දෙපස සහ අදාළ අතු ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.



විශේෂයෙන්ම ජල මට්ටම ඉහළ යාම හමුවේ අඹතලේ ගංවතුර පාලන බැම්ම මේ වනවිට පිටාර ගැලීමට පටන්ගෙන ඇති අතර, මෙම තත්ත්වය හේතුවෙන් වේල්ල අවට ප්‍රදේශවලට මෙන්ම පහළ ප්‍රදේශවලට ද දැඩි ගංවතුර අවදානමක් නිර්මාණය වී ඇත.




මෙම හදිසි ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් කඩුවෙල සිට මාලබේ දක්වාත්, අතුරුගිරිය සිට මාලබේ දක්වාත් මෙන්ම මාලබේ සිට බත්තරමුල්ල දක්වාත් දිවෙන ප්‍රධාන මාර්ග ආශ්‍රිත පහත්බිම්වල පදිංචි ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවිය යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කරයි.

එමෙන්ම අඹතලේ බැම්ම පිටාර ගැලීම හේතුවෙන් මාලබේ සහ කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර කොටස සහ ඊට ඉහළින් පිහිටි පහත්බිම් මේ වනවිටත් ජලයෙන් යටවෙමින් පවතින බැවින් එම කලාපවල ජනතාව වඩාත් විමසිලිමත් විය යුතුය.

ගංවතුර අවදානම හේතුවෙන් තම නිවාසවලින් ඉවත් වන අවතැන් වූ ජනතාවට තාවකාලික රැකවරණය ලබාගැනීම සඳහා මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලය සහ පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලය යන ස්ථාන සූදානම් කර ඇති බව බලධාරීන් දැනුම් දෙයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ජල මට්ටම ඉහළ යාමේ වේගය සලකා බලා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත්, ආපදා අංශවල උපදෙස් පිළිපදින ලෙසත් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.