රාවල්පින්ඩි හි පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී ප්‍රබල ආරම්භයක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම හදිසියේ ලකුණු 30ක් තුළ කඩුලු 9ක් අහිමි කරගනිමින් දැවැන්ත කඩාවැටීමකට ලක්වීම පාකිස්ථානයේ ජයග්‍රහණය පහසු කරවන්නක් විය.
මොහොමඩ් නවාස් සහ ශාහීන් අෆ්රිඩි පන්දුවෙන් දැක්වූ දස්කම් හමුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 115ක ඉලක්කයක් ලැබූ පාකිස්ථානය පන්දු 8ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරා ගත්තේය.වියළි ස්වභාවයක් ගත් තණතීරුවේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර, පවර් ප්ලේ (Powerplay) අවස්ථාව තුළ ලකුණු 56ක් රැස්කිරීමට සමත් විය. ශාහීන් අෆ්රිඩි යොමු කළ අඩුවේග පන්දුවක් හමුවේ පැතුම් නිස්සංක තුන්වන පන්දුවාරයේදීම දැවී ගියද, කමිල් මිෂාර ප්‍රතිවාදී පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මකව පන්දුවට පහර දීම නිසා ශ්‍රී ලංකාවට හොඳ පදනමක් වැටුණි. විශේෂයෙන් සල්මාන් මිර්සා යොමු කළ පවර් ප්ලේ අවස්ථාවේ අවසන් පන්දුවාරයේදී ලකුණු 17ක් උදුරා ගැනීමට මිෂාර සමත් වූ අතර, කුසල් මෙන්ඩිස් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ඔහුට සහය ලබා දුන්නේය.
පන්දු 37කින් සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ මිෂාර ලකුණු පුවරුව 11 වැනි පන්දුවාරය වන විට කඩුලු 1කට ලකුණු 84ක් දක්වා ඔසවා තැබුවද, මොහොමඩ් නවාස් විසින් කුසල් මෙන්ඩිස්ව දවා ගැනීමත් සමඟ තරගයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් විය.
එතැන් පටන් ඇරඹි ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම කෙතරම් දරුණු වීද යත්, සායිම් අයුබ් විසින් මිෂාරව දවාගත් අතර අබ්‍රාර් අහමඩ් විසින් කුසල් පෙරේරා සහ පවන් රත්නායකව පන්දු 3ක් ඇතුළත දවා ගත්තේය. අනතුරුව ක්‍රියාත්මක වූ නවාස්, ජනිත් ලියනගේ සහ වනිඳු හසරංගගේ කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකා මැද පෙළ විනාශ කර දැමුවේය.
ශාහීන් අෆ්රිඩි යොමු කළ අඩුවේග පන්දු හමුවේ දසුන් ශානක සහ මහීෂ් තීක්ෂණ දැවී ගිය අතර, 20 වැනි පන්දුවාරයේදී දුෂ්මන්ත චමීරව දවාගත් සල්මාන් මිර්සා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 114කට සීමා කළේය. පන්දුවාර 10ක් තුළ ලකුණු 81ක් ලබා සිටි ශ්‍රී ලංකාව, ඊළඟ පන්දුවාර 9.1 තුළ ලකුණු 33කට කඩුලු 9ක් අහිමි කර ගැනීම කැපී පෙනුණි. පන්දු යැවීමේදී ශාහීන් අෆ්රිඩි සහ මොහොමඩ් නවාස් කඩුලු 3 බැගින් බිඳ හෙළමින් පාකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූහ.
ලකුණු 115ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් සාහිබ්සාදා ෆර්හාන් සහ සායිම් අයුබ් පළමු කඩුල්ලට පන්දුවාර 7.5ක් තුළ ලකුණු 46ක සබඳතාවක් ගොඩනැගූහ. එෂාන් මාලිංග විසින් ෆර්හාන්ව දවා ගත්තද, බාබර් අසාම් සහ අයුබ් දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 29ක් වේගයෙන් එක් කළහ. පන්දුව පහත් මට්ටමක පැවතීම හේතුවෙන් වනිඳු හසරංග හමුවේ අයුබ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේය.
තණතීරුව පිතිකරණයට එතරම් පහසු නොවූවද, ලකුණු පුවරුවේ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොතිබීම ශ්‍රී ලංකාවට අවාසිදායක විය. බාබර් අසාම් ඉවසීමෙන් යුතුව පන්දුවට පහර දෙමින් සල්මාන් අගා සමඟ ලකුණු 23ක සබඳතාවක් පැවැත්වූ අතර, අවසානයේ ෆකාර් සමාන් සමඟ එක්ව පාකිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. මේ අනුව තවත් තුන්කොන් තරගාවලි ජයග්‍රහණයක් සිය නාමය ඉදිරියේ සටහන් කර ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා කන්ඩායම ලංකාවේ පවතින ආපදා තත්වයට ශෝකය පළ කරමින් මිනිත්තුවක නිහඩතාවක් පිටියේදී පළ කළ අතර සිය තරග ආදායම ආපදාවේ විපතට පත්වූවන්ට පරිත්‍යාග කරන බව දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval