නිට්ටඹුව පොලිස් සිරමැදිරිය තුළ රඳවා සිටි වරෙන්තුකරුවෙකු එසේ රඳවා තැබීමට පොලිසියට නීතිමය අයිතියක් නොමැති බව පවසමින් පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන සාත්තු සේවිකාවක බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට මුල් වී ඇත්තේ අධිකරණය මග හරමින් සිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවකු පසුගිය 23 වැනිදා රාත්‍රී 11.00ට පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නිට්ටඹුව පොලිස් සිරමැදිරියේ රඳවා සිට ඇති අතර, එම අවස්ථාවේදී සැකකරුගේ ඥාතියෙකු වන අදාළ කාන්තාව ඔහු බැලීම සඳහා පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.
එහිදී වරෙන්තුකරු සිරමැදිරියේ රඳවා තැබීමට පොලිසියට කිසිදු අයිතියක් නොමැති බව පවසමින් ඇය පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇති බව වාර්තා වේ. ඇය පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර නිට්ටඹුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval