
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආර්ථිකය සම්බන්ධයෙන් නගන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් පවතී නම්, මහ බැංකුවේ නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ ඊට සෘජුවම පිළිතුරු ලබාදිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළ කළේ මහ බැංකු නිලධාරීන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එහිදී රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, මූල්‍ය ප්‍රතිපත්තිය, උද්ධමනය හෝ විනිමය අනුපාත වැනි කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළද, පාර්ලිමේන්තුව තුළ මහ බැංකුවේ සෘජු නියෝජනයක් නොමැතිවීම හේතුවෙන් එම ප්‍රශ්නවලට සාමාන්‍යයෙන් පිළිතුරු නොලැබී යන තත්වයක් පවතින බවයි.
මෙම කරුණට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා පවතින ක්‍රමවේදය පැහැදිලි කළේය. ඔහු සඳහන් කළේ මන්ත්‍රීවරයෙකු ප්‍රශ්නයක් යොමු කළ විට එය ඍජුවම මුදල් අමාත්‍යවරයා වෙත ලැබෙන බවත්, අනතුරුව මුදල් අමාත්‍යාංශය හරහා මහ බැංකුවෙන් ඒ පිළිබඳව විමසන බවත්ය.
මුදල් අමාත්‍යවරයා මාර්ගයෙන් මහ බැංකුව වෙත ලැබෙන සියලුම ප්‍රශ්න සඳහා නියමිත වේලාවට තම ආයතනය පිළිතුරු සපයන බවට සහතික විය හැකි බවද ආචාර්ය වීරසිංහ මහතා අවධාරණය කළේය. කෙසේ වෙතත්, මෙම සමස්ත ක්‍රියාවලිය නිසි වේලාවට සිදු නොවීම හේතුවෙන් පිළිතුරු ලැබීමේ ප්‍රමාදයක් පැවතිය හැකි බව ඔහු පිළිගත්තේය.
ඇතැම් ප්‍රශ්න මහ බැංකුවට පමණක් අදාළ නොවන බවත්, ඒවා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයකටම අදාළ වන අවස්ථා පවතින බවත් අධිපතිවරයා පෙන්වා දුන්නේය.
එවන් අවස්ථාවකදී මුදල් අමාත්‍යවරයා එම සියලු ආයතනවලින් පිළිතුරු එක් රැස් කර, වාර්තාවක් සම්පාදනය කර අදාළ අමාත්‍යවරයාට ලබා දිය යුතු බවද ඔහු පැවසීය.
කෙසේ වුවද, මහ බැංකුව වෙත නිල වශයෙන් ආරාධනාවක් සිදු කරන්නේ නම්, පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට තම නියෝජිතයින්ට කිසිදු බාධාවක් නොමැති බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කාරක සභාව හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval