දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි සියපත නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි ජාවාරම්කරු සහ සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (18) සවස අත්අඩංගුවට ගැනීමට දෙමටගොඩ පොලිසිය සමත් විය.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දෙමටගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා දියකර ශරීරයට විදීම සඳහා භාවිත කළ එන්නත් කටු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. අයිස් මත්ද්‍රව්‍ය දෙහි යුෂ සමග මිශ්‍ර කර එන්නත් කරන බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇති අතර, සේවය ලබා ගැනීමට පැමිණි සැකකරුවන් දෙදෙනා ළඟ තිබී ද මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම ස්ථානයට දිනකට මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් දෙසීයක පමණ පිරිසක් වරින් වර පැමිණෙන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, මත්ද්‍රව්‍ය ලබා දීමට අමතරව ඒවා ශරීරයට එන්නත් කර දීම වෙනුවෙන් රුපියල් දහසක සේවා ගාස්තුවක් මොහු විසින් අය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳව දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval