english-teacher-and-principal-arrested-for-abusing-student-at-moratuwa-school

 මොරටුව ප්‍රදේශයේ පිහිටි පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ එම අපරාධය වසන් කිරීමට ආධාර අනුබල දුන් බව කියන විදුහල්පතිවරයා මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර ගුරුවරයා විසින් අදාළ සිසුවා

බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබේ.




පසුගිය ඔක්තෝබර් මාසයේ දිනකදී මෙම අපයෝජන සිද්ධිය සිදුව ඇති අතර, ඒ පිළිබඳව පාසල් සංවර්ධන සමිතිය මගින් විදුහල්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. එසේ වුවද විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් නොගෙන, අදාළ අපරාධය යටපත් කිරීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ හේතුවෙන් මොරටුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අපයෝජනය සිදු කළ බව කියන ගුරුවරයා සහ තොරතුරු වසන් කළ විදුහල්පතිවරයා පසුගිය 17 වැනිදා පස්වරුවේ පොලිස් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.