100-kilos-of-ice-found-floating-in-the-middle-of-beruwala-bay

 බේරුවල මුහුදු තීරයේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට ආසන්න තොගයක් නාවික හමුදාව විසින් ඊයේ (18) සොයා ගෙන ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර තිබේ. වෙරළේ සිට මුහුදු සැතැපුම් තුනක් පමණ දුරින් ගෝනි දෙකක් පාවෙමින් තිබෙන බවට

කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක කේ.කේ. දයාසේන මහතාට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම දියත් කර ඇත.

ලද තොරතුරට අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ, නාවික හමුදා යාත්‍රාවක් යොදවා අදාළ ගෝනි දෙක ගොඩබිමට රැගෙන විත් බේරුවල ධීවර වරාය නීතිගත සංස්ථාවේ මධ්‍යම යාන්ත්‍රික වැඩපල අංගණය වෙත ගෙන එන ලදී.


එම ගෝනි විවෘත කර පරීක්ෂා කිරීමේදී විවිධ වර්ණවලින් යුත් ඇසුරුම් 41 ක අසුරන ලද මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඒවා බේරුවල පොලිසිය වෙත භාර දී තිබේ.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රමිදු සිල්වා මහතාගේ උපදෙස් පරිදි බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නවරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සහ කළුතර අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ මූලික විමර්ශන කටයුතු සිදු කළහ.